විරු සැමරුමට උතුරු නැගෙනහිර රණවිරු පවුල්

දාහත් වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති Anura Kumara Dissanayake මහතාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතයි.

රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් එස්.බී. කොහොන මහතා පවසන්නේ, මෙවර සැමරුම් උත්සවයට විශේෂත්ව කිහිපයක් එක්කර ඇති බවයි.

රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීම මෙවර සැමරුමේ ප්‍රධාන අරමුණක් බව සඳහන් කළ ඔහු, ඒ අනුව වෙනදාට වඩා වැඩි රණවිරු පවුල් සංඛ්‍යාවක් උත්සවයට එක්කර ඇති බවද පැවසීය.

තවද, උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලින් යුද්ධයට එක්ව රටේ නිදහස වෙනුවෙන් සටන් කළ ද්‍රවිඩ සහ මුස්ලිම් රණවිරුවන්ගේ ඥාතීන්ටද මෙවර සැමරුම සඳහා ආරාධනා කර තිබීම තවත් විශේෂත්වයක් බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල රණවිරු පවුල් 30කට ආසන්න සංඛ්‍යාවක් මෙවර ජාතික රණවිරු සැමරුමට සහභාගී වීමට නියමිත බවද රණවිරු සේවා අධිකාරිය පවසයි.

Share This