“විදුලි ගාස්තු වැඩි කරන්න එපා”පුබුදු ජයගොඩගෙන් රිට් පෙත්සමක්

බාල ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් මතුවී තිබෙන පාඩුව පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු වැඩි කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.
එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් වරයා, එන්.එස්. ඕ සමාගම, මහජන උපයෝගීතා කොමිසම ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
පෙත්සම්කරු කියා සිටින්නේ බාල ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 20කට අධික පාඩුවක් සිදුවී ඇති බවට මහජන උපයෝගීතා කොමිසම නිකුත් කළ වාර්තාවක සඳහන් වන බවයි.
එම පාඩුව ආකාර දෙකකින් පියවා ගැනීමට රජය උත්සාහ කරන බව පෙන්වා දුන් පෙත්සම්කරු විදුලි බිල ඉහළ දැමීම හරහාත් ජනතාව මත බදු පැටවීම හරහාත් එම පාඩුව පියවා ගැනීමට උත්සාහ කරන බවත් කියා සිටියා.
ඒ අනුව මෙම පාඩුව පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීම සහ මහජනතාව මත බදු පැටවීම වළක්වාලන ආඥාවක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ඊට අමතරව ඉකුත් මැයි මස 09 වනදා විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.
එමෙන්ම මෙම බාල ගල් අඟුරු ආනයනය හේතුවෙන් රජයට සිදුවූ පාඩුව ඊට වගකිව යුතු දේශපාලන අධිකාරිය , රජයේ නිලධාරීන් හා එම ගල් අඟුරු ආනයනය කළ සමාගමෙන් අයකර ගැනීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
