ලක්ෂ 75කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමග “මාරවිල අකිල” දුම්මලදෙණියේදී අත්අඩංගුවට
ඩුබායිහි සැඟව සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන “කොණ්ඩා රංජිත්”ගේ ප්‍රධාන ගෝලයකු වන “හයිටෝප් තුෂාර” විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැක කෙරෙන “මාරවිල අකිල” නම් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට පත්වී ඇත්තේ වෙන්නප්පුව, දුම්මලදෙණිය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදීය. එම මෙහෙයුම වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට ලැබුණු රහස් තොරතුරක් මත ක්‍රියාත්මක කර තිබුණි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 120යි මිලිග්‍රෑම් 580ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 53යි මිලිග්‍රෑම් 610ක් පොලිස් භාරයට ගෙන ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 75කට වැඩි බව සඳහන් වේ.
විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, සැකකරු තම නිවස තුළ මත්ද්‍රව්‍ය සඟවාගෙන අවට ප්‍රදේශවලට බෙදාහැරීම සිදු කර ඇති බවයි.
සැකකරු වෙන්නප්පුව පොලිසිය වෙත භාරදී ඇති අතර, ඔහුට එරෙහිව රැඳවුම් නියෝග යටතේ වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතය.
