රට යළි බංකොලොත් වෙන්න ඉඩ තියෙනවා – සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියනවා, රට නැවතත් බංකොලොත් වීමේ අවදානමක් තියෙන නිසා ආණ්ඩුව උද්දච්ච වෙන්නේ නැතුව අලුත් IMF ගිවිසුමකට යන්න ඕන කියලා.

ඔහු කියන්නේ ජනාධිපතිවරයා රටේ ගැටලු නැති වගේ පෙන්වන්න උත්සාහ කළත්, ඇත්තටම රටේ ආර්ථික තත්ත්වය ගැන ජනතාව දැනුවත් වෙන්න ඕන කියලයි. රටේ ඩොලර් සංචිත බිලියන 7ක් තියෙනවා කියලා කිව්වත්, ඒ අතර තියෙන චීන යුආන් භාවිතා කරන්න බැරි නිසා සැබෑ සංචිත ප්‍රමාණය ඊට වඩා අඩු බවත් ඔහු සඳහන් කළා.

ඒ වගේම, සාමාන්‍යයෙන් රටකට මාස 3ක ආනයන වියදම ආවරණය කරන්න පුළුවන් සංචිත තිබිය යුතු වුණත්, ශ්‍රී ලංකාවට ඒ තත්ත්වයත් නැති බවයි ඔහු කියන්නේ. අපේ මාසික ආනයන වියදම ඩොලර් බිලියන 2කට ආසන්න නිසා, පවතින සංචිත ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ කියලාත් ඔහු පැවසුවා.

මේ අදහස් ඔහු පළ කළේ සමගි ජන බලවේගයේ ගුරු සංගමය පිහිටුවීම ගැන පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.

තවද, මැදපෙරදිග යුද්ධ තත්ත්වය දිගටම ගියොත් ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණවලටත් බලපෑම් එල්ල වෙන්න පුළුවන් බවයි විපක්ෂ නායකවරයා කියන්නේ. එහෙම වුණොත් විදේශ රැකියාවල නිරත ශ්‍රමිකයන්ගේ රැකියා පවා අවදානමට ලක් වෙන්න ඉඩ තියෙනවා කියලත් ඔහු අනතුරු ඇඟවුවා.

2022 ආර්ථික අර්බුද කාලයේ ඉන්දියාව වගේ රටවල් ශ්‍රී ලංකාවට සහාය දුන්නත්, අද ලෝක ආර්ථික තත්ත්වය වෙනස් වෙලා තියෙන නිසා එවැනි සහාය ලැබීමත් අසීරු වෙලා තියෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ 2027 මාර්තු මාසයෙන් පවතින IMF වැඩසටහන අවසන් වෙන නිසා, ඒකට පසු අලුත් IMF ගිවිසුමක් අත්සන් කරන්න රජය දැන්ම සැලසුම් කරන්න ඕන කියලයි. නැත්නම් රටේ ණය ගෙවීම්, තෙල් මිල ඉහළ යාම සහ ආනයන වියදම් එක්ක නැවතත් බංකොලොත් වීමේ අවදානමක් මතුවෙන්න පුළුවන් කියලාත් ඔහු සඳහන් කළා.

ඒ නිසා ජනතාවට දුන්න පොරොන්දු ඉටු කරමින්, දේශපාලන ටොම්පච නවත්වලා ජනතාවගේ පැත්තෙන් හිතලා කටයුතු කරන්න කියලාත් ඔහු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා.

Share This