පැලවත්තේ JVP කාර්යාලයේදී ශ්‍රී ලංකා – වියට්නාම රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා
ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ත්‍රින් තී ටැම් මහත්මිය අතර හමුවක් පසුගියදා පැලවත්තේ පිහිටි JVP ප්‍රධාන කාර්යාලයේදී සිදුවී තිබේ.
මෙම හමුවේදී වියට්නාම ජනරජයේ ජනාධිපතිවරයා මෙන්ම වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳවද විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇත.
එම සංචාරයෙන් පසු ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා “විස්තීර්ණ හවුල්කාරීත්ව” මට්ටමට වර්ධනය කරගැනීමට හැකි වූ බව තානාපතිවරිය මෙහිදී සඳහන් කර තිබේ. එසේම, ටෝ ලාම් මහතා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරය පිළිබඳව ඉහළ ප්‍රසාදයක්ද පළ කර ඇති බව ඇය ප්‍රකාශ කර ඇත.
මෙම සාකච්ඡාවේදී තවත් කරුණු කිහිපයක්ද අවධානයට ලක්වී ඇත. ඒ අතර ශ්‍රී ලංකාවට අවශ්‍ය පොහොර ආනයනය, සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම, විද්‍යා හා තාක්ෂණ සහ කර්මාන්ත ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීම වැනි කරුණු ද ඇතුළත් වේ.
මෙම අවස්ථාවට වියට්නාම් තානාපති කාර්යාලයේ උප තානාපති ලී වැන් හොන්ග් මහතාද එක්වී සිටියේය.
