පල්ලේගම හේමරතන හිමි ධුරයෙන් ඉවත් කරයි

මේ වනවිට අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධව විත්තිකරුවෙකු වී සිටින පල්ලේගම හේමරතන හිමි දැරූ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක පදවිය හා අටමස්ථානාධිපති ධුරය අත්හිටුවීමට තීරණය කර තිබේ.
මේ අද (30) දිනැතිව ඒ සම්න්ධව නිකුත් කළ නිවේදනය

“මාධ්‍ය නිවේදනය

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක පදවිය හා අටමස්ථානාධිපති ධුරය පිළිබඳවයි
වර්තමානයේ දී උක්ත ඨානාන්තර ද්විත්වය දරන පල්ලේගම හේමරතන ස්ථවිරයන් වහන්සේ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳ අවධානය යොමු කොට මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහාසංඝ සභාව විසින් අදාළ පාර්ශ්වයන් ද ගෙන්වා මේ සම්බන්ධයෙන් කරුණු විභාග කරන ලදී.

ඒ අනුව 2026.05.30 දිනැතිව රැස් වූ මල්වතු මහා විහාරිය ගරුතර කාරක මහාසංඝ සභාවේ දී පල්ලේගම හේමරතන ස්ථවිරයන් වහන්සේ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳ පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ලැබෙන තෙක් මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහාසංඝ සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඒ ස්ථවිරයන් වහන්සේ වෙත පත් කර ඇති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටු වීමට තීරණය කරන ලදී.

එසේ ම, ගරුතර කාරක මහාසංඝ සභාවේ නියමය පරිදි අටමස්ථාන කමිටුව විසින් තත් කමිටු සාමාජික උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක රුවන්වැලි චෛත්‍යරාමාධිකාරි ඊතල වැටුණු වැවේ ඤාණතිලක නායක ස්ථවිර තාවකාලිකව අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා පත් කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කර ඇති බව ද මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගෞරවාර්භ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමය පරිදි මෙයින් නිවේදනය කර සිටිමි.

මල්වතු විහාරය

Share This