ගල්කිස්ස සිට හැටන් දක්වා මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත කාන්තාවක් අත්අඩංගුවට
වසර ගණනාවක් තිස්සේ හැටන් ප්‍රදේශයට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි කාන්තාවක් හැටන් පොලිස් කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවක් වන මොහු දරුවන් සිව් දෙනෙකුගේ මවකි. ඇය පසුගියදා කොළඹ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී හැටන් මල්ලිඅප්පු මංසන්ධියේදී අත්අඩංගුවට පත්ව ඇත.
එහිදී ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 11,850ක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකාරිය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පසුගිය 04 වනදා සිට රදවා තබාගෙන විමර්ශන සිදුකරන ලදී.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාව වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ හැටන් ප්‍රදේශයට මත්ද්‍රව්‍ය රැගෙනවිත් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් රුපියල් 5,000ක මිලකට අලෙවි කර ඇති බවයි. මොවුන්ගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගත් තරුණයන් 11 දෙනෙකු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ඇප මත මුදාහැර ඇත.
සැකකාර කාන්තාව අද (09) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. හැටන් පොලිස් කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ලද තොරතුරක් මත මෙලෙස විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක වී තිබේ.
