පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසන කළ තිදෙනෙකුට වැඩ වරදියි

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසන කළ තිදෙනෙකුට වැඩ වරදියි

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, මේ සම්බන්ධයෙන් අදියර කිහිපයක් යටතේ සිදු කළ විමර්ශනවලින් ඔවුන් වැරදිකරුවන් ලෙස තහවුරුවීම හේතුවෙන්.

අනතුරුව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ නිර්දේශ මත එම සේවකයින් තිදෙන‍ා සේවයෙන් පහ කිරීම සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ‍පසුගියදා (09) අනුමතිය ලබාදී ඇති බව සඳහන්.

පාර්ලිමේන්තු සේවිකාවන්ට වර්ෂ 2021 සහ 2022 කාල පරිච්චේදයේදී ලිංගික හිංසනයන් වීම සම්බන්ධයෙන් පුවත්පතක 2023 ජූලි 30 සහ 2023 අගෝස්තු 02 දින කරුණු වාර්තාවීමෙන් අනතුරුවයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබුවේ.

එවක කථානායකවරයාගේ උපදෙස් මත මේ සම්බන්ධව විමර්ශනය කිරීම සදහා ත්‍රිපුද්ගල  අභ්‍යන්තර විමර්ශන කමිටුවක් පත් කෙරුණා.

මෙම කමිටුවේ  විමර්ශන අතරතුරදී පාර්ලිමේන්තු සේවකයින් දෙදෙනෙකු වැඩ තහනමට ලක් කොට තිබු අතර එම විමර්ශන කමිටු වාර්තාව 2023.08.23 දින පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය වෙත ලැබී තිබූ බව සඳහන්.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබා ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමු කරන ලද අතර නීතිපති දෙපාර්තමේන්තුවෙහි උපදෙස් මත මීට අදාළ පරීක්ෂණය පොලිස්පතිවරයා මඟින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැවරීමටයි කටයුතු කළේ.

මේ අතර පොලිස් විමර්ශන අනුව තවත් පාර්ලිමේන්තු සේවකයෙකු අත්අඩංගුවට ගැනුණු අතර 2024.01.30 දින එම සේවකයා ද වැඩ තහනමට ලක් කෙරුණු බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

මේ අනුව මීට අදාළ චෝදනා ගොනුකිරීමෙන් අනතුරුව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස චූදිත නිලධාරීන් විසින් කරන ලද ඉල්ලීම මත නෛතික විධිවිධාන ප්‍රකාරව විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීම පිණිස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය පත් කළා.

මෙම විනය පරීක්ෂණයේ අවසන් වාර්තාව පසුගිය 2024. 12.23 වැනිදා  පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත භාරදුන් අතර එය පදනම් කර ගනිමින් අදාළ සේවකයින් තිදෙනා වැඩ තහනමට ලක්වූ දින සිට සේවයෙන් පහකිරීමට කථානායකවරයාට කරන ලද නිර්දේශය අනුව මේ වන විට සේවයෙන් පහ කිරීමට කටයුතු කර තිබෙනවා.

Share This