“I am Jesus” සමාජ පෝස්ටුව Trump විසින්ම මකා දමයි

වැඩිවන විවේචන හමුවේ, තමන්ව ජේසුස් වහන්සේට සමාන චරිතයක් ලෙස නිරූපණය කරන ලද මතභේදාත්මක ‘Truth Social’ සටහන ඉවත් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇති බව පෙනේ.
රෝහල් ඇඳක සිටින රෝගියෙකුට සුවය ලබා දෙන ආකාරය පෙන්වන මෙම AI (කෘතිම බුද්ධිය) මගින් නිර්මාණය කළ ඡායාරූපය, අමෙරිකානු දේශපාලන ක්ෂේත්රයේ දෙපාර්ශවයෙන්ම මෙන්ම ට්‍රම්ප්ගේ දැඩි ආධාරකරුවන්ගෙන් පවා දැඩි විවේචනයට ලක් විය.
ඉරානයේ සිදුවන අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් දැඩි ලෙස විවේචනය කළ 14 වන ලියෝ පාප්වහන්සේට දෝෂාරෝපණය කරමින් ට්‍රම්ප් පළ කළ දීර්ඝ පණිවිඩයකින් පැය කිහිපයකට පසුව මෙම ඡායාරූපය පළ කර තිබුණි.
මෙම පින්තූරය පළ කළ බව පිළිගත් ට්‍රම්ප් මාධ්‍යවේදීන්ට පැවසුවේ, එයින් නිරූපණය වන්නේ “වෛද්‍යවරයෙකු ලෙස තමන්” කියා තමන් සිතූ බවයි. දැනට මකා දමා ඇති එම රූපයේ සුදු පැහැති සළුවක් හැඳ සිටින ට්‍රම්ප්, රෝගියෙකුගේ නළල මත දිදුලන දෑතක් තබා සිටින අයුරු දැක්වෙන අතර, විචාරකයන් පවසන්නේ එය ජේසුස් වහන්සේ රෝගීන්ට සුවය ලබා දෙන ආකාරය දැක්වෙන ආගමික සිතුවම්වලට සමාන බවයි.
එම රූපයේ පසුබිමින් නිදහස් ප්‍රතිමාව, ලෙලදෙන විශාල අමෙරිකානු ධජයක්, ප්‍රහාරක ජෙට් යානා සහ රාජාලියෙකු මෙන්ම හෙදියක්, යාඥා කරන කාන්තාවක් සහ නිල ඇඳුමෙන් සැරසී සිටින සොල්දාදුවෙකු ද දැකගත හැකි විය.
සටහන ඉවත් කර පැය කිහිපයකට පසු මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් කියා සිටියේ, එම රූපයෙන් නිරූපණය වන්නේ රතු කුරුස සේවකයෙකු අසල සිටින වෛද්‍යවරයෙකු ලෙස තමන් බව තමන් විශ්වාස කළ බවයි.
