ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට පාසල් ළමුන්ට, රජයෙන් දීමනාවක්

ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැළකිය යුතු සෘණාත්මක බලපෑමක් සිදුව ඇති බවට අනාවරණ වී තිබෙනවා.
මේ බව අනාවරණ වී ඇත්තේ, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන ලද “Household Survey on Impact of Economic Crisis – 2023” දත්ත සමීක්ෂණ අනුවයි.
ඒ අනුව, පාසල් යන ළමුන්ගෙන් සියයට 55 කගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි අහිතකර බලපෑම් ඇති වී තිබෙනවා.
මෙම ප්‍රතිශතය ග්‍රාමීය සහ වතු ආශ්‍රිතව වඩාත් ඉහළ අගයක් බව නිරීක්ෂණය වීමද විශේෂත්වයක්.
මෙලෙස බලපෑමට ලක්වූ ළමුන් අතරින් සියයට 53.2 ක් පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම අවම කර හෝ මුළුමනින්ම නවත්වා ඇති බවද, සියයට 26.1 ක් පෙර භාවිතා කරන ලද පාසල් ලිපි ද්‍රව්‍ය නැවත භාවිතා කිරීමට යොමු වී ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.
එලෙස අවදානමට ලක් වූ, පාසල් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි වන අහිතකර බලපෑම අවම කිරීම අරමුණු කරමින් 2025 වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබා දීමටයි රජය තීරණය කර ඇත්තේ.
එහිදී, පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා එක් ළමයෙකුට රු. 6,000.00ක වටිනාකමින් යුත් ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා දීමනාවක් ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර එය 2024.12.27 දින වන විට අස්වැසුම බැංකු ගිණුම් හරහා ගෙවීමට භාණ්ඩාගාරය කටයුතු කර තිබෙනවා.
එමෙන්ම, අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන අනෙකුත් සුදුසු පාසල් ළමුන් සඳහා ද එක් ළමයෙකුට රු. 6,000.00 ක වටිනාකමින් යුත් ලිපිද්‍රව්‍ය ලබා ගැනීමට මෙම දීමනාව ලබා දීම සඳහා 2025 වර්ෂයේ දී අවශ්‍ය ප්‍රතිපාදන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමට අපේක්ෂා කරන අතර එම දීමනා සුදුසු ක්‍රමවේදයක් යටතේ පාසල් ළමුන් වෙත ලබා දීමට කටයුතු කරනු ඇති.
මෙමඟින් පාසල් අධ්‍යාපනය සඳහා දෙමාපියන් විසින් දරනු ලබන වැය බරට සහනයක් ලබා දීම සහ එමඟින් පාසල් ළමුන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව සිදු කර ගැනීම මඟින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම රජයේ අපේක්ෂාවයි.