පෙම්වතියගේ පිහි පහරින්, පෙම්වතා අවසන් ගමන් යයි
කාන්තාවක් සිය පෙම්වතාට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන්, බරපතල තුවාල ලැබු පෙම්වතා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවීතක්ෂයට පත්ව තිබෙනවා.
නව රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට යන බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙදෙනා අතර ආරවුලක් සිදුව ඇති බවත්, ඒ හේතුවෙන් පෙම්වතිය විසින් මෙලෙස පෙම්වතාට පහර දී ඇති බවත් සඳහන්.
එලෙස මියගොස් ඇත්තේ, සුජිත් ප්‍රදීප් කුමාර නමැති 31 හැවිරිදි නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු විවාහක එක්දරු පියකු වන අතර ඔහුගේ බිරිය විදෙස්ගතවී ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
ඔහු සැකකාරිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර සැකකාරිය වැල්ලවාය, කොටවෙහෙර ප්‍රදේශයේ කුලී පදනම මත බෝඩිං කාමරයක රැඳී සිට ඇති බවයි පොලීසිය පැවසුවේ.
මරණකරු අවස්ථා කිහිපයකදීම පෙම්වතිය යැයි පැවසෙන තරුණියගේ බෝඩිං කාමරයට ගොස් තිබෙනවා.
සිද්ධිය වූ දිනද ඔහු තරුණියගේ බෝඩිං කාමරයට ගොස් ඇති අතර එම අවස්ථාවේදී පෙම්වතිය නව රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට යන බව මියගිය පුද්ගලයාට පවසා ඇති බව සඳහන්.
අනතුරුව දෙදෙනා අතර ආරවුලක් සිදුව ඇති බවත්, එම අවස්ථාවේදී පෙම්වතිය විසින් මරණකරුගේ පපු ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී ඇති බවටත් වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
ඉන් බරපතල තුවාල ලැබු මරණකරු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවීතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.