සියළු රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්

සියළු රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්

ලබන්නා වූ 2025 නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේදී සියළු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් දැනුම් දී තිබෙනවා.

අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව දැනුම්දී ඇති බව සඳහන්.

ඒ, අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙතයි.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන සමග නව වසරේ රාජකාරී කටයුතු ඇරඹිය යුතු බව ද එම චක්‍රලේඛයේ දක්වා තිබෙනවා.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන එළිදැක්වීම රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව සිදුකිරීමට නියමිතයි.

එය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (01) දිනයේ ජනාධිපති කාර්යාලයේ දී සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව සියළුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්, සමස්ත රාජ්‍ය සේවයේ නියුතු පිරිසගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන කාර්‍යට සමගාමීව සිය සේවා ස්ථානවල රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදුකළ යුතු බවයි.

‘ක්ලින් ශ්‍රී ලංකා’ වැඩසටහන එළිදැක්වීමේ ජාතික උත්සවය රජයේ සහ සියළු පෞද්ගලික විද්‍යුත් නාලිකා මගින් විකාශනය කිරීමට ද නියමිතයි.

එමෙන්ම සියලු රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයට එය නැරඹීමේ පහසුකම සලසා දෙන ලෙස ද දැනුම් දී තිබෙනවා.

ඒ අනුව සියළු රාජ්‍ය සේවකයින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ප්‍රතිඥාව කියවීම සඳහා සජීවීව සම්බන්ධ විය යුතු බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් දක්වා ඇති බව සඳහන්.