26 වැනි ASEAN ජාත්‍යන්තර සමුළුව සාර්ථකව නිමාවට පත් වේ

26 වැනි ASEAN ජාත්‍යන්තර සමුළුව සාර්ථකව නිමාවට පත් වේ

26 වන ASEAN කලාපීය සංසදයේ ආරක්‍ෂක විශ්වවිද්‍යාල/විද්‍යාල/අධ්‍යයන ආයතන ප්‍රධානීන්ගේ සමුළුව පසුගිය ජනවාරි 23 වැනිදා කොළඹ දී නිල වශයෙන් ආරම්භ වුණා.

ඒ, ආරක්‍ෂක අධ්‍යයන ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ලබාදෙන කලාපීය මූලික ආයතනවල දිශානතිය පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමට කැප වූ සාධනීය ඉදිරි ගමනක ආරම්භය සනිටුහන් කරමින්.

මෙවර සමුළුවේ පූර්ණ සත්කාරකත්වය දරනු ලැබුවේ, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය මඟිනි.

කලාපීය වශයෙන් අතිශය වැදගත් මෙම සමුළුව සඳහා ASEAN කලාපීය රටවල ආරක්‍ෂක අධ්‍යාපන ආයතනවල ප්‍රධානීන්, පීඨාධිපතිවරුන් සහ අධ්‍යක්‍ෂවරුන් ඇතුළුව ආරක්‍ෂක විශ්වවිද්‍යාල, විද්‍යාල සහ අධ්‍යාපන ආයතන බොහෝමයක නියෝජිතයින් සහභාගී වූවා.

ලොව පුරා ආරක්‍ෂක අධ්‍යාපන ආයතන අතර සහයෝගීතාව සහ අන්‍යොන්‍ය අධ්‍යයනය පෝෂණය කිරීම අරමුණු කරගත් ප්‍රධාන සැසි වාර 03 කින් සමන්විත වූ මෙවර සමුළුවට සහභාගි වූ රටවල නියෝජිතයන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්වීම විශේෂයි.

අතිශය සංකීර්ණ ගෝලීය ආරක්‍ෂක පරිසරයක් තුළ ආරක්‍ෂක අධ්‍යාපන පද්ධති මුහුණ දෙන අභියෝග සහ අවස්ථාවන් පිළිබිඹු කරමින් මෙවර සමුළුව “Defence Education in an Era of Transition” යන ප්‍රධාන තේමාවෙන් සමන්විත වූ අතර “Influence of Critical Technologies on Defence Leadership”, “Responding to Climate Change and Systemic Risks” සහ “Achieving Energy Security through an Integrated Response to Energy Transitions” යන උප තේමාවන් ඔස්සේ ඔවුන් සිදුකළ පර්යේෂණ සහ අනෙකුත් අදාළ ක්ෂේත්‍ර ඔස්සේ අන්‍යොන්‍ය අවබෝධය සහ යෝජනා සංවර්ධනය කිරීම සඳහා පාර්ශ්වකරුවන්ගේ අත්දැකීම් හා දැනුම ද හුවමාරු කරගැනීමේ අරමුණින් සමුළුව ක්‍රියාත්මකව තිබුණා.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පළමු දින සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ප්‍රධාන ආංශික ආයතනයක් නියෝජනය කරන බැවින් ASEAN සංවිධානයේ මෙම වැදගත් යාන්ත්‍රණයට ප්‍රවේශ වීමේ වැදගත්කම ඉස්මතු කරමින් සිය ප්‍රධාන දේශනය පැවැත් වූවා. එහිදී ASEAN දේශපාලන ආරක්‍ෂක කවුන්සිලයේ විෂය පථය යටතේ ආරක්‍ෂක අධ්‍යාපනයේ සහ කලාපීය සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කර තිබුණා.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද විශේෂ ආරාධිතයකු ලෙස මෙම අවස්ථාවට සහභාගිව සිටියා.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික), ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්-ආරක්‍ෂක, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අග්නිදිග ආසියාවේ සහ මධ්‍යම ආසියා කලාප භාර අධ්‍යක්‍ෂ ජනරාල්, ගුවන් හමුදාපති, පොලිස්පති ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් ද මෙම සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්ව සිටියා.

පළමු සැසි වාරයේදී ආරක්‍ෂක නායකත්වය කෙරෙහි නූතන තාක්‍ෂණයේ තීරණාත්මක බලපෑම යන තේමාව යටතේ විවේචනාත්මක විග්‍රහයක් සිදුකළ අතර සමුළුවේ දෙවන දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු. විජිත හේරත් මැතිතුමා ද සහභාගි වූවා.

ගෝලීය ආරක්‍ෂක යාන්ත්‍රණය තුළ ඇති පද්ධතිමය අවදානම් සහ එම ගෝලීය අභියෝග ආමන්ත්‍රණය කිරීම, බලශක්ති ප්‍රභවයන්ගේ විචල්‍යතාව සහ ගෝලීය වශයෙන් තිරසාර සහ වඩා ආරක්‍ෂිත බලශක්ති උපාය මාර්ග සහතික කිරීමේදී තීරණාත්මක සාධකයක් ලෙස එහි බලපෑම පිළිබඳ ගවේෂණාත්මකව සාකච්ඡාවක් දෙවන දින සැසිවාරයේ සිදු කර තිබුණා.

කලාපීය ආරක්‍ෂක අධ්‍යයන ආයතන අතර ගැඹුරු සබඳතා සහ උපායමාර්ගික හවුල්කාරිත්වයන් වර්ධනය කිරීමේ අරමුණින් ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක් ද මෙම සමුළුවේදී සිදුකෙරුණා.

අදහස් හා යෝජනා මෙන්ම වඩාත් උචිත හා ප්‍රායෝගික භාවිතයන් පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම තුළින්, නැගී එන ආරක්‍ෂක අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා ඔවුන්ගේ සාමූහික හැකියාව වැඩි දියුණු කිරීම මෙම සාකච්ඡාවලට සහභාගී වූ පාර්ශ්වකරුවන්ගේ අරමුණු වීම විශේෂයි.

මෙවර සමුළුව සඳහා සහභාගී වූ මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, පිලිපීනය, ලාඕසය, තායිලන්තය, මියන්මාරය, වියට්නාමය, කාම්බෝජය, නැගෙනහිර ටිමෝරය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය, නවසීලන්තය, රුසියාව, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව ඇතුළු සියලුම රටවල්වල නියෝජිතයන් සාමූහිකත්වය හා වඩාත් ඵලදායී ප්‍රතිඵල ලඟා කර ගැනීමට ඇති කැපවීම පිළිබිඹු කරමින් සාකච්ඡා සඳහා ක්‍රියාකාරීව හා උද්‍යෝගයෙන් සම්බන්ධ වූවා.

විවිධ ජන කොට්ඨාශයන්ට අයත් ජාතීන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වය, ජාත්‍යන්තර වශයෙන් ආරක්‍ෂක අධ්‍යයන ක්ෂේත්‍රය තුළ අවබෝධය සහ සහයෝගීතාව වර්ධනය කිරීමට සංවිධානයේ කැපවීම පෙන්නුම් කරන්නක්.

දෙවන දින සමාරම්භක උත්සවයේ සම්භාවනීය ආරාධිත අමුත්තන් අතරට ශ්‍රී ලංකාවේ පිහිටි විදෙස් තානාපති කාර්යාලවල මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන් සහ කොන්සියුලර් ජනරාල්වරුන් මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් රැසක් ද එක්ව සිටියා.

එයාකාරයෙන් පැවති මෙවර සමුළුව සාම්ප්‍රදායික කෙටි සමාප්ති උත්සවයකින් සාර්ථකව අවසන් වූ අතර කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් එළඹෙන 27 වන ASEAN කලාපීය රටවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල/විද්‍යාල/අධ්‍යයන ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ සභාපති වන, කාම්බෝජ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උප ප්‍රධානී ලුතිනන් ජෙනරල් Mony Var වෙත සංසදයේ සභාපතිත්වය නිල වශයෙන් භාර දෙනු ලැබුවා.

Share This