රත්ගමින් ආව ‘මාලිංග’ ‘ලසිත් මාලිංග’ වුණු හැටි ගැන කියන ‘𝐊𝐈𝐋𝐋𝐄𝐑’

රත්ගමින් ආව ‘මාලිංග’ ‘ලසිත් මාලිංග’ වුණු හැටි ගැන කියන ‘𝐊𝐈𝐋𝐋𝐄𝐑’

‘ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත’ කියන ප්‍රසිද්ධ කියමන වෙනස් කරපු මිනිස්සු මේ ලෝකේ ඕනෑ තරම් ඉන්නවා.

ලොවක් දන්න අපේ සිංහ කොල්ලා ‘ලසිත් මාලිංග’ කියන්නෙත්, අන්න ඒ කියමනට නියම උදාහරණයක් !

ඊට හේතු කාරණා සෑහෙන්න තියෙනවා.

‘ලසිත් මාලිංග’ කියන නම ලෝකයක් හඳුනන්නෙ ‘මහත්වරුන්ගේ ක්‍රීඩාව’ තුළින්. එහෙමත් නැත්නම් ක්‍රිකට් තුළින්.

ක්‍රීඩාව එක්ක තරමක දැඩි චරිතයක් විදියට පෙනුණත්, ලසිත් මාලිංග කියන්නෙ අපූරු කලාකරුවෙක්.

ඒ නිසාමයි ලසිත් මාලිංග ක්‍රීඩා පිටියෙන් එහාට ‘ආදරණීය මාලි’ වෙන්නෙ.

ඔහු මිනිස්සුන්ගෙ හදවත්වල රැඳෙන්නෙ එහෙම.

ගෙවුණු කාලය පුරාවටම අපි දැක්කා මාලි අතින් ලියවෙන සොඳුරු ගී පද.

රසික රසිකාවියන් රැසක් ආදරෙන් වැළඳගත් ගීත ගොන්නකට ඔහු මේ වෙද්දි හිමිකම් කියනවා.

එහෙම ක්‍රීඩාව තුළින්, ගීත තුළින් කතාබහට ලක්වුණු ලසිත් මාලිංග, ලේඛකයෙක් හැටියටත් දැන් කරළියට ඇවිත්.

‘𝐊𝐈𝐋𝐋𝐄𝐑’….. ඒ තමයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ලසිත් මාලිංග විසින් රචිත ග්‍රන්ථය.

කෘතිය ලියවෙන්නෙ ඔහුගේ ම අත්දැකීම් තුළින්.

ඒ නිසාම ‘ක්‍රිකට් සිහිනය හඹා යන’ ‘මාලි වෙන්න හීන දකින’ කාටත් ‘𝐊𝐈𝐋𝐋𝐄𝐑’ අතිශය වැදගත් වනු ඇති.

රත්ගමින් ආව ‘මාලිංග’ ලොවක් දන්න ‘ලසිත් මාලිංග’ වුණු හැටි ගැනයි, ‘𝐊𝐈𝐋𝐋𝐄𝐑’ ඔබට කියන්නෙ.

කෘතිය එළිදැක්වීමේ උත්සවය පැවැත්වුණේ, මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඉහළින්ම ඔසවා තබන්නට සමත්කම් දැක්වූ ලෝක ප්‍රකට අපේ ක්‍රිකට් තරු එක්ක.

ලසිත් මාලිංග කියන සුපිරි පන්දු යවන්නාගේ අත්දැකීම් සමුදාය තුළින්, පන්දු යවන්නෙක් විදියට ලියපු පොත පිතිකරුවෙක්ටත් වැදගත් බවයි මාලි කියන්නෙ.

ක්‍රිකට් ක්‍රීඩාව තුළ නිවැරදිම නිල ඇල්ලූ මාලි, තමන් ප්‍රගුණ කළ දෑ නිර්ලෝභීව අනාගත පරම්පරාවට දායාද කරමින් ‘𝐊𝐈𝐋𝐋𝐄𝐑’ එළිදැක්වීමේදී කළ කතාවේ කොටසකි මේ..

”මම ගාල්ල රත්ගම ප්‍රදේශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට කොළඹට ආපු එක්කෙනෙක්. හැබැයි මට අද වෙනකොට පුළුවන් වෙලා තියෙනවා, නිකන් ම මාලිංග ‘ලසිත් මාලිංග’ කියන තැනට මගේ නම පත්කරන්න. ඒකට මමත් එක්ක එකට පන්දු යවපු, ඒ වගේම මට නායකත්වය දීපු ,මට මෙතනට එන්න ශක්තිය දීපු සියලු දෙනාම අද මගේ ඉස්සරහ ඉන්නවා.

මම ලබපු ලොකුම ජයග්‍රහණය තමයි, වෙනදා අපි යනකොට කවුරුත් අපේ අත්සනක් ඉල්ලන්නෙ නෑ. හැබැයි දැන් අත්සන කියන එක, ඔටෝග්‍රාෆ් එකක් බවට පත්කරගන්න ඒ වචනෙ අහන්න පුළුවන් තරමට මට හැකියාව ලැබුණා ක්‍රිකට් ක්‍රීඩාව තුළ…

ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සෙ තීරණය කළා පොතක් ලියන්න. මට හිතුණා ක්‍රීඩාවට මම ආවේ කොහොමද, මම ක්‍රීඩාවට මොනවද කරන්න ඉගෙන ගත්තෙ කියන දේට වඩා මම ආවට පස්සෙ මේ ක්‍රීඩාවේ වසර 16 ක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න මම මොනවද කළේ කියන එක අනිත් ක්‍රීඩකයින්ට සහ ලෝකයේ ඉන්න ක්‍රීඩකයින්ට ලබාදෙන්න ඕනි කියලා..

ඒකට මට ප්‍රධානම ශක්තිය වුණේ මගේ අම්මා. ඒකට හේතුව තමයි ගමේ සෙල්ලම් කරනකොට කවදාවත් ලේසි නෑ ගෙදරින් හොරාට ගිහින් සෙල්ලම් කරන්න. ඉතින් මම යන හැම වාරයක් ගාණෙම අම්මා තනියම හෝ ගමේ කාත් එක්ක හරි ඇවිත් මාව ගෙදරට ඇදගෙන එනවා. එහෙම ක්‍රීඩා කරපු කාලයක් මට තිබුණා.

ඒ ඉස්සර… අම්මා ගෙදර එන්න කියලා කතා කරපු කාලයක් තිබුණා. දැන් අපි ළමයින්ට කියනවා ගෙදරින් එළියට ගිහිල්ලා ටිකක් සෙල්ලම් කරන්න කියලා. ඒ වෙනස මේ අවුරුදු 20 තුළ වෙලා තියෙනවා.

ඉතින්, මම අම්මට මුලින්ම ස්තූතිවන්ත වෙනවා මාව මේ තත්ත්වෙට හදපු එකට.

ඒ වගේම මට අද වගේ මතකයි, මම 2006 – 2007 වගේ ටුවර් එක්ක යන්න ලෑස්ති වෙනවා. බැට් එකක් එහෙම දාලා ලස්සනට පැක් කරනවා. අම්මා යන ගමන් අහනවා ‘උඹලා බැට් නම් අරන් යනවා ලකුණක් ගහන්නෙ නෑ’ කියලා. ඒක මට ඒ විදියටම කිව්වා. ඒක මගෙ අවුරුදු ගාණක් ඔළුවෙ තිබුණා. හැබැයි අම්මා බලන් ඉන්නකොටම මට පුළුවන් වුණා මගෙ පළවෙනි ලකුණු 50 ගහන්න, ගාල්ල ග්‍රවුන්ඩ් එකේ ටෙස්ට් මැච් එකේ.

ඉතින් මට ගොඩක් සතුටුයි, මොකද සමහරවිට අම්මා හිතන්න නැතුව ඇති මම කවදාවත් ලකුණු ගහන එකක් නෑ කියලා. හැබැයි අම්මා ඒ කියපු එකෙන් මට හිතුණා මම කවදා හරි දැනෙන ලකුණු ප්‍රමාණයක් ගහනවා කියලා…..”

සටහන – නඳුනි ආරියවංශ
Share This