විදුලි ගාස්තු පිළිබඳ අවසන් තීරණය අද

විදුලි ගාස්තු පිළිබඳ අවසන් තීරණය අද

2025 වසරේ ජනවාරි සිට ජුනි දක්වා මුල් මාස 6 සඳහා බලාත්මක වන විදුලි ගාස්තු පිළිබඳ අවසන් තීරණය අද (ජනවාරි 17) ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා.

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම 2024 දෙසැම්බර් 17 වන දින සිට ආරම්භ කෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව මීට ඉහත නිවේදනය කර තිබුණා.

ඒ ලංවිම ඉදිරිපත් කළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සහ ඒ පිළිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිත්‍ය කාර්ය මණ්ඩලය කළ සමාලෝචනයෙන් අනතුරුව සකස් කළ ප්‍රතියෝජනා කෙටුම්පත සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු පාර්ශ්වයන්ට අදහස් හා යෝජනා ලිඛිතව සහ වාචිකව ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙන පරිදියි.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර තිබුණේ, මෙම වසරේ මුල් මාස 6 සඳහා ඉදිරිපත් කර ඇති සංශෝධනයෙන් පවත්නා විදුලි ගාස්තුව නොවෙනස්ව ක්‍රියාත්මක කෙරෙන බවයි.

ඊට මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ද ප්‍රති යෝජනාවක් ඉදිරිපත්ව තිබුණා.

ඒ අනුව ලංවිම යෝජනාව මෙන්ම මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිත්‍ය කාර්ය මණ්ඩලයේ නිර්දේශ (ප්‍රතියෝජනාව) පිළිබඳ දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි මහජන අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමටයි, දෙසැම්බර් 17 වන දින සිට අවකාශය ලබාදී තිබුණේ.

එලෙස ක්‍රියාත්මක සැසිවාරයන්වල දී විදුලි ගාස්තුව 20% ක පමණ ප්‍රතිශතයකින් අඩුවිය යුතු බවට ජනතාවගෙන් ඉදිරිපත් වූ යෝජනාවල ඇතුළත් වන බව සඳහන්.

එම යෝජනා පිළිබඳව ද සැලකිල්ලට ගනිමින්, විදුලි ගාස්තු පිළිබඳ අවසන් තීරණය අද දිනය තුළ ප්‍රකාශයට පත්කෙරෙනු ඇති.

Share This