ලබන ඉරිදා සිට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුම ඇරඹෙයි

ලබන ඉරිදා සිට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුම ඇරඹෙයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය, ගාසා තීරයේ සටන් විරාමයකට සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමකට එකඟ වී තිබෙනවා.
ඒ මාස 15ක යුද්ධයකින් පසුවයි.
මෙම සාකච්ඡා සඳහා කටාර් සහ අමෙරිකා එක්සත් ජනපදය මැදිහත්කරුවන් ලෙස කටයුතු කළා.

කටාර් අගමැති ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල් රහ්මාන් අල් තානි පැවසුවේ ගිවිසුම ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් අනතුරුව ඉරිදා සිට බලාත්මක වන බවයි.

මෙම සටන් විරාමය ගාසා තීරයේ සටන් නවත්වන බවත්, පලස්තීන සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය මානුෂීය ආධාර ලබා දෙන බවත්, ප්‍රාණ ඇපකරුවන් ඔවුන්ගේ පවුල් සමඟ නැවත එක් කරන බවත් අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබෙනවා.

ගිවිසුමේ අවසන් තොරතුරු තවමත් සකස් වෙමින් පවතින නමුත් එය “ප්‍රවර්ධනය කිරීම” සම්බන්ධයෙන් අමෙරිකානු ජනපති බයිඩන්ට ස්තුතිවන්තවන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

මෙලෙස සටන් විරාමයකට එළඹීමට හැකියාව ලැබුණේ පලස්තීන “ප්‍රතිරෝධීතාවයේ” ප්‍රතිඵලයක් නිසා බවයි හමාස් නායක කලීල් අල්-හයියා පවසා ඇත්තේ.

ගාසා තීරයේ සටන් විරාම පුවත සැල්වීමත් සමගම බොහෝ පලස්තීන ජාතිකයන් සහ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් එකිනෙකා වැළඳගනිමින් එය සමරා තිබෙනවා.

2023 වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය කළ පෙර නොවූ විරූ දේශසීමා ප්‍රහාරයක් එල්ල කරමින්, ඊශ්‍රායල වැසියන් 1,200 ක් පමණ ඝාතනය කර, තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගත්තා.

ඊට ප්‍රතිචාර වශයෙන් අමෙරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති හමාස් විනාශ කිරීමේ මෙහෙයුමක් ඊශ්‍රායලය දියත් කළා.

එතැන් සිට ගාසා තීරයේ පුද්ගලයින් 46,700 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව එම ප්‍රදේශයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මිලියන 2.3 ක ජනගහනයෙන් වැඩි දෙනෙක් අවතැන් වී ඇති අතර, ගාසා තීරයේ පුළුල් විනාශයක් සමගින් මේ වන විට එහි ආහාර, ඉන්ධන, ඖෂධ සහ නවාතැන් හිඟයක් මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Share This