කැනඩා අගමැති ටෘඩෝ ඉල්ලා අස්වීම ප්‍රකාශ කරයි ???

කැනඩා අගමැති ටෘඩෝ ඉල්ලා අස්වීම ප්‍රකාශ කරයි ???

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ අවසන් තීරණයක් ගෙන නොමැති නමුත්, ඔහු ඉල්ලා අස්වීමට වැඩි ඉඩක් ඇති බව ටෘඩෝට සමීප මූලාශ්‍රයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ නිර්නාමික මූලාශ්‍රයට අනුව ටෘඩෝ, සිය වසර නවයක ධුර කාලයෙන් පසු කැනඩාවේ පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වන බව බොහෝදුරට අද දිනය තුළ ප්‍රකාශ කරනු ඇති.

එසේ නොවුණහොත් එය, බදාදා දිනට නියමිත ලිබරල් නීති සම්පාදකයින්ගේ හදිසි රැස්වීමට පෙර සිදුවෙතැයි අපේක්ෂා කෙරේ.

ටෘඩෝගේ මෙම තීරණය සම්බන්ධයෙන් වාර්තා වන්නේ, ඔක්තෝබර් අග වන විට පැවැත්විය යුතු මැතිවරනයකදී ලිබරල්වාදීන් නිල විපක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂය හමුවේ දරුණු ලෙස පරාජයට පත් වනු ඇතැයි මත විමසුම්වලින් පෙන්නුම් කරන මොහොතකදී වීම විශේෂ ය.

ඒ අනුව ඔහුගේ ඉවත් වීමෙන් පසු පක්ෂයේ ස්ථිර ප්‍රධානියෙකු සම්බන්ධයෙන් මෙතෙක් හෙළිව නොමැති අතර විදෙස් වාර්තාවන් පෙන්වා දෙන්නේ නව ලිබරල් නායකයෙකු තෝරා ගන්නා තෙක් ටෘඩෝ වහාම ඉවත්ව යනවාද නැතහොත් අගමැති ලෙස රැඳී සිටිනවාද යන්න තවමත් පැහැදිලි නොමැති බවයි.

මේ අතර ලිබරල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි සංඛ්‍යාවක්, ටෘඩෝගෙන් ඉවත් වන ලෙස ප්‍රසිද්ධියේ ම ඉල්ලා ඇති බවත් සඳහන්.

ටෘඩෝ 2013 දී ලිබරල් නායකයා ලෙස වැඩ භාර ගත්තේ පක්ෂය දැඩි අර්බුදයකට ලක්ව සිටියදී යි.

ඔහු ඉල්ලා අස්වන්නේ නම්, එය ඉදිරි වසර හතර සඳහා ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සමඟ කටයුතු කළ හැකි ස්ථාවර රජයක් පිහිටුවීම සඳහා ඉක්මන් මැතිවරණයක් සඳහා වන ඉල්ලීම්වලට ද තුඩු දෙනු ඇති.

Share This