අයහපත් කාලගුණයෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා: නායයාම් කිහිපයක් වාර්තා වෙයි
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග අද (26) දින උඩරට දුම්රිය ගමනාගමනයට බාධා සිදුව ඇති බව බදුල්ල දුම්රිය ස්ථානය පවසනවා.
උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක සිදුව ඇති නායයෑම් කිහිපයක් ඊට හේතුව බවයි බදුල්ල දුම්රිය ස්ථානාධිපතිවරයා සඳහන් කළේ.
බදුල්ල සහ ඇල්ල දුම්රිය ස්ථාන දෙක අතර උඩුවර සහ ආරුක්කු නවය පාලම ආසන්නයේ නායයෑම් දෙකක් ද, අඹේවෙල ප්රදේශයේ තව නායයෑමක්ද වාර්තා වී තිබෙනවා.
ඒ අනුව අද (26) උදෑසන බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ගැනීමට නියමිතව තිබු උඩරට මැණිකේ ශීඝ්රගාමී දුම්රිය ධාවනය කර නැහැ.
එමෙන්ම කොළඹ කොටුව සිට බදුල්ල බලා ඊයේ (25) රාත්රීයේ පැමිණි දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ නවතා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය බණ්ඩාරවෙල දක්වා සීමා කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ධාවනයට නියමිත ගමන්වාර කිහිපයක් සීමා කිරීමට සිදුවන බවයි.