තැපැල් සේවය ගැන ඇමති නලින්ද ජයතිස්ස ගත් තීරණය මෙන්න

තැපැල් සේවය ගැන ඇමති නලින්ද ජයතිස්ස ගත් තීරණය මෙන්න

දේශපාලන හෝ පුද්ගල වුවමනා මත නව තැපැල් කාර්යාල ස්ථාපිත ‌කිරීම මින් ඉදිරියට සිදු නොකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, තැපැල් සේවයේ සියළු වෘත්තීය සමිති නියෝජිතයින් හමු වූ අවස්ථාවේදීයි.

ඔහු ශ්‍රී ලංකා තැපැල් මූලස්ථානයේ වත්මන් සේවා කටයුතු සහ ඉදිරි සැළසුම් නිරීක්ෂණයට ද එක් වූ බවයි, එම අමාත්‍යංශය නිවේදනය කළේ.

වඩාත් නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් ගොඩනැගීමට රජය සැලසුම් කර තිබෙනවා.

ඒ, නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුලින් විශිෂ්ටතම සබඳතා සහකරු වීම සිය දැක්ම කරගත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සේවාලාභී තෘප්තිය උපරිම තලයකට ගෙන ඒම සදහා නවීන තාක්ෂණය ද උපයෝගී කරගනිමින්.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව දැනට සිදු කරනු ලබන සේවාවන්, ක්‍රියාත්මක ව්‍යාපෘති, ඉදිරි සංවර්ධන ව්‍යාපෘති, ශ්‍රී ලංකා තැපෑල මුහුණ දෙන වර්තමාන අභියෝග, ගැටළු සහ සැලසුම් පිළිබඳව අමාත්‍යවරයා සොයා බලනු ලැබුවා.

එමෙන්ම දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන ආදායම් මාර්ග පිළිබදව ද අමාත්‍යවරයා ගැඹුරින්  කරුණු සොයා බැලූ බව සඳහන්.

තැපැල් දෙපාර්තමේන්තුව නිසි අරමුණකින්, සැළසුම් සහගතව කටයුතු කරන බව පෙනී යන අතර රජයේ අරමුණ පවතින ගැටළු නිරාකරණය කර ගනිමින් මෙම ‌ ඓතිහාසික සේවාව ජාතික සේවාවක් ලෙස නවීකරණය කර පවත්වා‌ගෙන යාම බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

විශේෂයෙන්ම දේශපාලන හෝ පුද්ගල වුවමනා මත නව තැපැල් කාර්යාල ස්ථාපිත ‌කිරීම මින් ඉදිරියට සිදු නොකරන බව ද නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළා.

එමෙන්ම තැපැල් දෙපාර්තුමේන්තුවේ  ඉදිරි සැලසුම් අවම වශයෙන් ඉදිරි වසර 10 ක කාලපරිච්චේදයකට කළ යුතුයි.

එහිදී නිසි අවබෝධයෙන් යුතුව දෙපාර්තුමේන්තුවටම අදාල වු සැලසුමකට ක්‍රියාත්මක විය යුතු බවයි, අමාත්‍යවරයා කියාසිටියේ.

සංචාරක ක්ෂේත්‍රය පිළිබද අවදානය යොමු කරමින් වඩා ලාභදායී ආයතනයක් ලෙස ගොඩනැගීමට එම සැලසුම් සකස් කළ යුතු බව ද නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නා.

විදෙස් ආධාරයන් ලබාගැනීම ද අරමුණු කරගනිමින් සැළසුම් සහගත ව්‍යාපෘති යෝජනාවක් සැකසීම වැදගත් වනවා.

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් මාර්ග පෞද්ගලික ආයතන සමග තරග කළ හැකි ලෙස දියුණු කර ගත යුතු බවයි එහිදී නලින්ද ජයතිස්ස මහතා කියාසිටියේ.

ආදායම් උත්පාදනය කළ හැකි තවත් ක්ෂේත්‍ර ගණනාවක් දෙපාර්තමේන්තුව සතුව පවතින ඇතැම් ක්ෂේත්‍ර මඟහැරී  ඇති බවත්, සමහර ක්ෂේත්‍ර සදහා යොමු කර ඇති අවධානය ප්‍රමාණවත් නොවන බවත් ඒ මහතා කියාසිටියා.

තැපැල් දෙපාර්තමේන්තුව ජනතාව අතර ජනප්‍රිය කරන ආකාරය පිළිබදව අවධානය යොමු කරන ලෙස ද නිලධාරීන් ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයින් හට මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දුන් බව සඳහන්.

Share This