බලයෙන් පහ කරන ලද සිරියානු ජනාධිපතිගෙන් බිරිඳ අස්මා දික්කසාදය ඉල්ලයි !

බලයෙන් පහ කරන ලද සිරියානු ජනාධිපතිගෙන් බිරිඳ අස්මා දික්කසාදය ඉල්ලයි !

බලයෙන් පහ කරන ලද සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ බිරිඳ දික්කසාදයක් අපේක්ෂා නොකරන බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයෙක් අවධාරණය කර තිබෙනවා.

කෙසේ නමුත් මීට ඉහත තුර්කි මාධ්‍ය වාර්තා කළේ, බ්‍රිතාන්‍යයේ උපන් අස්මා අල් අසාද් නම් ඇයට සිය විවාහය අවසන් කිරීමට අවශ්‍යව ඇති බවයි.

නම් සඳහන් නොකර ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයා පෙන්වා දී තිබුණේ, අසාද් මොස්කව් වෙත සීමා කර ඇති බවත් ඔහුගේ දේපළ වත්කම් අත්හිටුවා ඇති බවටත් පළ වූ වාර්තා ද අසත්‍ය වන බවයි.

ඉරිදා දිනයේ පළ වූ තුර්කි මාධ්‍ය වාර්තාවන්ට අනුව, අසාද්වරු රුසියානු අගනුවර දැඩි සීමාවන් යටතේ ජීවත් වන අතර හිටපු සිරියානු ජනාධිපති ආර්යාව දික්කසාද වීමට ගොනු කර ඇති බව කියවේ.

ඒ, නැවත ඇයට ලන්ඩනයට යාමට ඇති අවශ්‍යතාව පෙන්වා දෙමින්.

අස්මා අල් අසාද් සිරියානු-බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසි භාවය සහිත අයෙකි.

නමුත් එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරිය මීට ඉහත පෙන්වා දී තිබුණේ, අස්මා අල් අසාද් හට නැවත බ්‍රිතාන්‍යයට යාමට ද ඉඩ නොදෙන බවයි.

49 හැවිරිදි අස්මා අල් අසාද් 1975 දී සිරියානු දෙමව්පියන්ට දාව එක්සත් රාජධානියේ උපත ලැබූ අතර ඇය හැදී වැඩුණේ බටහිර ලන්ඩනයේ ඇක්ටන් හිදී ය.

වයස අවුරුදු 25 දී ඇය සිරියාවට ගොස් ඇත. සිරියාවේ ජනාධිපති ආර්යාව ලෙස වසර 24 ක් පුරාවටම අසාද් බටහිර මාධ්‍යවල මාතෘකාවක් බවට ද පත් විය.

2018 වසරේදී ඇය පියයුරු පිළිකා සඳහා ප්‍රතිකාර ලබන බව නිවේදනය කළ අතර වසරකට පසුව සම්පූර්ණ සුවය ලබා ඇති බවත් සඳහන් කරන ලදී.

එමෙන්ම ඇය ලියුකේමියා රෝගයෙන් ද පෙළෙන අතර මේ වසරේ මැයි මාසයේදී රෝගය සඳහා ප්‍රතිකාර ආරම්භ කළ බවයි එවකට ජනාධිපති අසාද්ගේ කාර්යාලය නිවේදනය කළේ.

ඒ අනුව ඇය පොදු කටයුතුවලින් “තාවකාලිකව ඉවත් වන” බවත් වැඩිදුරටත් සඳහන් විය.

Share This