නීති විරෝධිව මත්පෙති ආනයනය කළ අයෙකුට වසර 12ක සිර දඬුවම්

නීති විරෝධිව මත්පෙති ආනයනය කළ අයෙකුට වසර 12ක සිර දඬුවම්

ප්‍රංශයේ සිට නීති විරෝධි අයුරින් මත්පෙති 5000කට අධික සංඛ්‍යාවක් මෙරටට ආනයනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මෙලෙස සිර දඬුවම් නියම කළේ, කොළඹ 12 මිරානියා විදියේ පදිංචි එම්.එෆ්.එම්. ෆර්සාන් නමැති නමැති විතිකරුවෙකුටයි.

2020 වසරේ ජූලි මස 10 වනදා ප්‍රංශයේ සිට නීති විරෝධී මත්පෙති 5716 ක් මෙරටට රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විත්තිකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් අතර ඉන් පසුව ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කරනු ලැබුවා.

විනිසුරුවරයා නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරන බවයි.

වර්තමානයේ තරුණ තරුණියන් අතර මෙවැනි නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ ප්‍රවණතාවයක් වර්ධනය වෙමින් තිබෙන බව දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලිෂාන් රත්නායක මහතා සඳහන් කළා.

එබැවින් එවැනි ක්‍රියා සිදු කිරීමට අධෛර්යමත් කළ හැකි ආකාරයේ දඬුවමක් විත්තිකරුට ලබාදෙන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළා.

අකිලා නදීෂානි බණ්ඩාර
Share This