වගා හානි සිදුකරන සතුන් පාලන ක්‍රම කියන්න ජනතාවටත් අවස්ථාවක්

වගා හානි සිදුකරන සතුන් පාලන ක්‍රම කියන්න ජනතාවටත් අවස්ථාවක්

වන සත්ත්වයින්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා මහජන අදහස් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

රිළවා, ඉත්තෑවා, වල් ඌරා, මොනරා ආදී වන සතුන්ගෙන් මෙරට වගාවන්ට සිදුවන්නේ අති විශාල හානියක්.

වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි වළක්වා ගැනීමට, වන සතුන් පලවා හැරීමේ ක්‍රමවේද ලෙස දැනට අමාත්‍යාංශය හා අදාළ ආයතන මගින් වායු රයිපල් හා ආරක්ෂිත වැටවල් යෙදීම වැනි ක්‍රම භාවිත කරනු ලබනවා.

එමෙන්ම රිළා ගහනය පාලනය කිරීමට රිලා වන්ද්‍යකරණය ද ක්‍රියාත්මක කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙමගින් වගා හානිවල අඩුවීමක් දක්නට නොලැබෙන බවටයි ගොවීන් මැසිවිලි නගන්නේ.

ඒ අනුව දැනට ක්‍රියාත්මක ක්‍රමවේදයන්ට අමතරව ඒ සඳහා මහජන අදහස් ලබාගැනීමට මෙලෙස අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

දැනට පවතින ක්‍රමවේදවලට අමතරව වෙනත් ක්‍රම හෝ අදහස් ඇතොත් ඒවා කෙටි ව්‍යාපෘති යෝජනා ලෙස සකසා මෙම දෙසැම්බර් 28 වැනිදාට පෙර [email protected] විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

එමෙන්ම 0770440590 දරන වට්ස් ඇප් අංකයට ද ඒ සම්බන්ධයෙන් වන යෝජනා යොමුකළ හැකියි.

Share This