‘මිතුරු පුරවර’ වැඩසටහන යටතේ නගර සංවර්ධනයට කැබිනට් අනුමැතිය…

කුඩා නගර සංවර්ධනය කර ජනතාවගේ ජීවන තත්ත්වය සහ පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින් ‘මිතුරු පුරවර’ නමින් නව සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

2026 අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ දිවයින පුරා තෝරාගත් නගර 25ක් සඳහා එක් අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යාපෘතියක් බැගින් හඳුනාගෙන, එම ව්‍යාපෘති 2026 වසර තුළ අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ආරම්භක අදියරේදී නගර 23ක් සඳහා හඳුනාගත් ප්‍රමුඛතා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ සඳහා රුපියල් මිලියන 581ක මුදලක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.

මෙම වැඩසටහන මඟින් ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ අවශ්‍යතා ඉටු කරමින් නගරවල යටිතල පහසුකම් සහ මහජන සේවා තවදුරටත් වැඩිදියුණු කිරීම අපේක්ෂා කෙරෙනවා.

අදාළ ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ වෙන් කර ගැනීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

Share This