රුපියල් මිලියන 99කින් නවීකරණය කළ “ස්නායු රෝග විද්‍යා ආයතනය” ජනතා අයිතියට
ශ්‍රී ලංකා ජාතික රෝහලේ රුපියල් මිලියන 99ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කළ ස්නායු රෝග විද්‍යා ආයතනය (Institute of Neurology) අද (01) ජනතා අයිතියට පත් කෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණිගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම සිදු විය.
මෙම ආයතනය මඟින් මොළය, සුෂුම්නාව, ස්නායු සහ පේශි පද්ධතිය ආශ්‍රිත රෝග හඳුනා ගැනීම හා ප්‍රතිකාර කිරීම සිදුකරන අතර, නවීකරණය හේතුවෙන් මෙරට ස්නායු රෝග ප්‍රතිකාර සේවාවන් තවදුරටත් පුළුල් හා කාර්යක්ෂම වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය ඡේ. බී. පීරිස් මහතාගේ ඡායාරූපයද මෙහිදී නිරාවරණය කෙරුණු අතර, Neurology Unit Ward 62 සහ 63 නිල වශයෙන් විවෘත කර ප්‍රථම රෝගියා ලියාපදිංචි කිරීමද සිදු විය.
වාට්ටු දෙකෙහි රෝගී ඇඳන් 44ක් (කාන්තා සහ පිරිමි වශයෙන් වෙන්කර) ස්ථාපිත කර තිබේ.
අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය සඳහා පළමු මහලට රුපියල් මිලියන 52ක්, බිම් මහලට මිලියන 22ක් සහ තෙවන මහලට මිලියන 25ක් වශයෙන් සමස්ත රුපියල් මිලියන 99ක් වැය කර ඇති බවයි.
එමෙන්ම සෞඛ්‍ය අංශයේ මානව සම්පත් ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය කාර්ය සහායකයන් 1,900ක් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා අයදුම්පත් 92,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
මීට අමතරව හෙද උපාධිධාරීන් 515 දෙනෙකුට පත්වීම් ලබා දී ඇති අතර, ලබන ඔක්තෝබර් මාසයේදී තවත් හෙද නිලධාරීන් 2,600 දෙනෙකුට පත්වීම් ලබාදීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
2026 වසර සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුපියල් බිලියන 619ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, නව ගොඩනැගිලි, අලුත්වැඩියා කටයුතු සහ නව වෛද්‍ය උපකරණ මිලදී ගැනීම් සඳහාද විශාල මුදලක් වෙන්කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
