ලෝකයේ සිගරට් පරිභෝජනයෙන් 50%ක්ම චීන ජාතිකයින්

ලෝකයේ වැඩියෙන්ම සිගරට් භාවිත කරන රට ලෙස මේ වනවිට චීනය හඳුන්වයි. ලොව පුරා පරිභෝජනය කරන සමස්ත සිගරට් ප්‍රමාණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්ම චීනය තුළ පමණක් භාවිත වන බව වාර්තා වෙනවා.
ඇස්තමේන්තුගත දත්ත අනුව, චීනය තුළ වසරකට සිගරට් බිලියන 2,400ක්, එහෙමත් නැත්නම් ට්‍රිලියන 2.4කට ආසන්න ප්‍රමාණයක් පරිභෝජනය කරන බව සඳහන්. ඒ නිසාම ලෝකයේ විශාලතම සිගරට් වෙළඳපොළ චීනය බවට පත්වෙලා.
මෙම දැවැන්ත වෙළඳපොළේ වැඩි කොටස පාලනය කරන්නේ චීන රජයට අයත් “චීන ජාතික දුම්කොළ සංස්ථාව” හෙවත් China National Tobacco Corporation සමාගමයි. මෙම සමාගම ලෝකයේ විශාලතම දුම්කොළ සමාගම ලෙසද සැලකෙනවා. චීනයේ දුම්කොළ කර්මාන්තයෙන් රජයට විශාල ආදායමක් ලැබෙන බවත් වාර්තා වෙනවා.
චීන සමාජයේ, විශේෂයෙන්ම වැඩිහිටි පිරිමින් අතර, දුම්පානය දශක ගණනාවක් තිස්සේ සාමාන්‍ය පුරුද්දක් සහ සමාජ සංස්කෘතියේ කොටසක් ලෙස පවතිනවා. සමහර අවස්ථාවලදී ආදර සම්බන්ධතා, ව්‍යාපාරික හමුවීම් සහ මිත්රශීලීභාවය පෙන්වීමට පවා සිගරට් ලබාදීම සිරිතක්.
කෙසේ වෙතත්, සෞඛ්‍ය විශේෂඥයන් දිගින් දිගටම අනතුරු අඟවන්නේ දුම්කොළ භාවිතය ලෝකයේ වළක්වා ගත හැකි රෝගාබාධ සහ මරණ සඳහා ප්‍රධාන හේතුවක් බවයි. දුම්පානය හේතුවෙන් පෙනහළු පිළිකා, හෘද රෝග, ආඝාතය, ශ්වසන රෝග සහ තවත් බොහෝ බරපතළ රෝග ඇති වීමේ අවදානම ඉහළ යන බව වෛද්‍යවරු පවසනවා.
එමෙන්ම, දුම්පානය නොකරන පුද්ගලයන්ටද “passive smoking” හෙවත් අන් අයගේ දුම් ආශ්වාස කිරීම නිසා සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බවද සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තියෙනවා.
පසුගිය කාලයේ චීන රජය දුම්පානය අඩු කිරීම සඳහා පොදු ස්ථානවල දුම්පානය තහනම් කිරීම, සෞඛ්‍ය අනතුරු ඇඟවීම් වැඩි කිරීම සහ තරුණ පරපුර දුම්පානයෙන් වැළැක්වීම සඳහා වැඩසටහන් ආරම්භ කර තිබුණද, චීනය තුළ දුම්පානයේ ප්‍රමාණය තවමත් ඉතා ඉහළ මට්ටමක තිබෙන බව තමයි වාර්තා වෙන්නෙ.
