සුද්දන් ඉවර කරපු අපේ “ගවරා”

ලංකාවේ වනාන්තරවල අතීතයේ රජකම් කළ, නමුත් අද සදහටම අහිමි වෙලා ගිය දැවැන්ත සත්වයෙක් ගැනයි. ඒ තමයි “ගවරා”.

ගවරා කියන්නේ ජනප්‍රවාදවල තියෙන සතෙක් විතරක් නෙවෙයි. ඇත්තටම ශ්‍රී ලංකාවේ ජීවත් වුණු සත්වයෙක් කියලා තහවුරු කරන විද්‍යාත්මක සාක්ෂි අදටත් තියෙනවා.

ගවරා කියන්නේ ඉන්දියාවේ අදටත් දැකගන්න ලැබෙන Indian Bison හෙවත් Bos gaurus කියන දැවැන්ත සත්ව කුලයට අයත් සතෙක්. ලංකාවේ හිටපු මේ උප විශේෂය Bos gaurus sinhaleyus කියලා හඳුන්වනවා. විශාල ශරීරයක්, බලවත් මාංශපේශී, සහ ලොකු අං දෙකක් තිබුණු ඉතා ශක්තිමත් සත්වයෙක් ලෙසයි ගවරා හඳුන්වන්නේ.

ගවරා ලංකාවේ හිටියා කියන එකට තියෙන ප්‍රබලම සාක්ෂිය තමයි රත්නපුර ප්‍රදේශයෙන් හමු වූ පොසිල. ප්‍රසිද්ධ විද්‍යාඥ ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා විසින් කළ පර්යේෂණවලදී ගවරාගේ දත් සහ අස්ථි කොටස් හමු වී තිබුණා.

ඒ විතරක් නෙවෙයි, 1681 දී රොබට් නොක්ස් ලියපු “An Historical Relation of the Island Ceylon” කියන ග්‍රන්ථයේත් “Gauvera” කියන නමින් මේ සත්වයා ගැන සඳහන් වෙනවා. නොක්ස් කියන විදිහට, මේ සතුන් කැලේ ඉඳන් අල්ලාගෙන මහනුවර රජුගේ සත්වෝද්‍යානයට පවා ගෙනවිත් තිබුණා.

අදටත් “ගවරවිල”, “ගවරගිරිය”, “ගවරකැලේ” වගේ ගම් නාම මේ සත්වයා ලංකාවේ ජීවත් වුණු බව මතක් කරන සාක්ෂි ලෙස පවතිනවා.

හැබැයි ඉංග්‍රීසි පාලන සමයේ ගවරාට අවාසනාවන්ත ඉරණමක් අත්වුණා. තේ සහ කෝපි වගා සඳහා මධ්‍යම කඳුකරයේ විශාල වනාන්තර කපා දැමීම නිසා ගවරාගේ වාසස්ථාන විනාශ වුණා. ඊට අමතරව සුදු ජාතික වැවිලිකරුවන් විනෝදයට ගවරා දඩයම් කළා.

තවත් හේතුවක් ලෙස සැලකෙන්නේ විදේශයන්ගෙන් ගෙනා ගවයින් හරහා පැතිරුණු රෝග. ඒ රෝග කැලෑවේ හිටපු ගවරාටත් බෝ වෙලා විශාල ප්‍රමාණයක් මියගියා කියලා විශ්වාස කරනවා.

මේ හැම දෙයක්ම එකතු වෙලා 18 හෝ 19 වන සියවස වෙද්දී ගවරා ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම වඳ වෙලා ගියා කියලා සැලකෙනවා.

අද අපිට ගවරා ගැන දැනගන්න ලැබෙන්නේ ඉතිහාස පොත්, පොසිල සහ ජනප්‍රවාද හරහා විතරයි. ලංකාවේ ජීවත් වුණු දැවැන්තම සත්වයෙක් මේ විදිහට අහිමි වීම ඇත්තටම කනගාටුදායක දෙයක්. ඒ වගේම අද ජීවත් වෙන අලි ඇතුන් ඇතුළු වනසතුන් ආරක්ෂා කරගන්න අපිට ලොකු පාඩමකුත් මේ කතාවෙන් ලැබෙනවා.

Share This
OLDER POST