හජ්ජි උත්සවය වෙනුවෙන් දිවයින පුරා විශේෂ පොලිස් ආරක්ෂාව

ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් හා සතුටින් සමරනු ලබන හජ්ජි උත්සවය හෙවත් කැප කිරීමේ උත්සවය හෙට (28) දිනට යෙදී තිබෙනවා.

ඒ නිමිත්තෙන් ආගමික වතාවත් සඳහා සහභාගි වන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථාන වෙත ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදී ඇති අතර, විශේෂ යාඥා පැවැත්වෙන මුස්ලිම් පල්ලි සහ ඒ අවට ප්‍රදේශවලට අමතර පොලිස් ආරක්ෂාව යෙදවීමට නියමිතයි.

එමෙන්ම පල්ලි අවට රථවාහන තදබදය අවම කරමින් බැතිමතුන්ගේ ගමනාගමනය පහසු කිරීම සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කෙරෙනවා.

ඉස්ලාම් භක්තිකයින් වැඩි වශයෙන් ගැවසෙන නගර ප්‍රදේශවල ජංගම සංචාර, පාමුර, බීට්ටු සහ යතුරුපැදි සංචාර වැඩිකරමින් ආරක්ෂාව තරකර ඇති බවද පොලිසිය සඳහන් කරනවා.

තවද බුද්ධි නිලධාරීන් යොදවා අවශ්‍ය තොරතුරු රැස් කිරීමේ කටයුතුද සිදු කෙරෙනවා.

මෙම ආරක්ෂක වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා පොලිස් නිලධාරීන් ලබාදෙන උපදෙස් පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

යම් සැකකටයුතු පුද්ගලයෙකු හෝ වස්තුවක් දක්නට ලැබේ නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 119 / 118 හදිසි ඇමතුම් අංක වෙත දැනුම් දෙන ලෙසද පොලිසිය ජනතාවට දැනුම් දී තිබෙනවා.

Share This