නිරිත දිග මෝසම ස්ථාපිත වෙමින් පවතී – ප්‍රදේශ කිහිපයකට මි.මී 100ක තද වැසි

කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අද වැදගත් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඔවුන් කියන්නේ, නිරිත දිග මෝසම මේ වෙද්දී දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින නිසා, ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වය තවත් වැඩිවෙන්න පුළුවන් කියලයි.

විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්න නියමිතයි.

ඒ අතරේ, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100කට ආසන්න තද වැසිත් ලැබෙන්න පුළුවන් කියලා කාලගුණ අංශ අනතුරු අඟවනවා.

ඌව පළාතේ වගේම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පස්සේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්න ඉඩ තිබෙනවා.

මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං හමන්න පුළුවන් කියලාත් සඳහන් වෙනවා.

කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං නිසා සිදුවිය හැකි අනතුරු අවම කරගන්න අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්න කියලයි.

Share This