ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි 24ට කල්තැබේ…

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (25) කැඳවනු ලැබුවා.

නඩුව විභාග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා, වැඩිදුර සාක්ෂි විභාගය ජූලි 24 වැනිදාට කල් තැබීමට නියෝග කළා.

මෙම නඩුවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා සිටියේ, පරිගණක උත්පාදිත ලේඛන සම්බන්ධ පද්ධතිය පරීක්ෂා කිරීමට අවසර අවශ්‍ය බවයි. ඒ අනුව සාක්ෂි ආඥා පනත යටතේ ප්‍රවේශයක් මෙතෙක් ලැබී නොමැති නිසා නඩු විභාගයට බාධාවක් ඇති බවද ඔහු සඳහන් කළා.

එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ, අදාළ ලේඛන පරිගණකයෙන් උත්පාදිත ඒවා නොව, ස්කෑන් කර දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති ලේඛන පමණක් බවයි.

කෙසේ වෙතත්, විත්තිය ඉල්ලා සිටින ආකාරයට පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රවේශය ලබාදීමට අදාළ නීතිමය නොතීසිය අධිකරණයට ඉදිරිපත් කරන බවද ප්‍රකාශ වුණා.

අවසානයේ, නඩුව වැඩිදුර විභාගය සඳහා ජූලි 24 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළා.

Share This