මෙරට සියදිවිහානි කරගැනීම් 70%කින් අඩුවෙලා

ලෝක සෞඛ්‍ය සමුළුවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියලා තිබුණේ, ශ්‍රී ලංකාවේ අතිශය විෂ සහිත පළිබෝධ නාශක ක්‍රමයෙන් තහනම් කිරීමත් එක්ක සියදිවි නසා ගැනීම් විශාල ලෙස අඩුවෙලා තියෙනවා කියලායි.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන සමුළුවට සමගාමීව පැවති “පළිබෝධ නාශක මඟින් සියදිවි නසා ගැනීම වැළැක්වීම” ගැන වූ විශේෂ සැසියකදී ඔහු මේ අදහස් පළ කරලා තිබුණා.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, 1990 දශකයේ ඉඳලා ශ්‍රී ලංකාව අතිශය විෂ සහිත පළිබෝධ නාශක තහනම් කරන්න පියවර ගත්ත බවයි. ඒ තීරණයත් එක්ක මෙරට සියදිවි නසා ගැනීම් ප්‍රමාණය සියයට 70කින් විතර අඩුවෙලා තියෙනවා කියලාත් ඔහු සඳහන් කළා.
1995දී ලක්ෂයකට 47ක් ලෙස තිබුණු සියදිවි නසා ගැනීමේ අනුපාතය, 2022 වන විට ලක්ෂයකට 14 දක්වා අඩුවෙලා තියෙනවා කියලාත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සියලු රටවල් තමන්ගේ සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ වැඩපිළිවෙළට පළිබෝධ නාශක සීමා කිරීම අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු බවයි. ඒක අඩු වියදමකින් කෙටි කාලයක් තුළ ප්‍රතිඵල ලබාගන්න පුළුවන් ක්‍රමයක් කියලාත් ඔහු සඳහන් කළා.
හැබැයි පළිබෝධ නාශක තහනම් කිරීම විතරක් ප්‍රමාණවත් නැහැ කියලාත් අමාත්‍යවරයා කියනවා. ප්‍රජා මට්ටමේ සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමත් අත්‍යවශ්‍ය බවත්, ශ්‍රී ලංකාව මේ වෙද්දී ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කරමින් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යන බවත් ඔහු පැහැදිලි කළා
