සමස්ත ලංකා සෞඛ්‍ය කළමනාකරණ නිලධාරීන්ගේ සංගමයේ මහ සමුළුව රැස්වෙයි

සමස්ත ලංකා සෞඛ්‍ය කළමනාකරණ නිලධාරීන්ගේ සංගමයේ පළවෙනි වාර්ෂික මහ සමුළුව අද (22) ශ්‍රී ලංකා මහවැලි මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. “වැඩ කරමු – රට හදමු, ගෞරවනීය රාජ්‍ය සේවාවක් ගොඩනගමු” කියන තේමාව යටතේ මේ සමුළුව සංවිධානය කර තිබුණා.

මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා කියා සිටියේ, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් අහිංසක මිනිස් ජීවිත එක්ක කිසිම වෙලාවක ගනුදෙනු කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා.

ඒ වගේම, සමහර වෘත්තීය ක්‍රියාමාර්ග දේශපාලන න්‍යාය පත්‍ර අනුව ක්‍රියාත්මක වෙන බව පේනවා කියලත්, දේශපාලන අදහස් තිබුණත් ඒවා රාජකාරි ජීවිතය එක්ක ගලපගන්න හොඳ නැහැ කියලත් අමාත්‍යවරයා සඳහන් කළා.

සෞඛ්‍ය ක්ෂේත්‍රය හැම වෙලාවෙම අභියෝගවලට මුහුණ දෙන ක්ෂේත්‍රයක් බවත්, පැරණි ගැටලු විසඳෙද්දී අලුත් ගැටලු මතුවෙන බවත්, ඒ වෙනස්කම් වලට ගැලපෙන්න සෞඛ්‍ය සේවකයන් සූදානම් වෙන්න ඕන කියලත් ඔහු පැවසුවා.

මේ වෙද්දී ලෝකයේ යුධමය සහ ආර්ථික අර්බුද රැසක් පවතින නිසා ආර්ථිකය කළමනාකරණය කරගැනීම ලොකු අභියෝගයක් වෙලා තියෙන බවත්, ඒ තත්ත්වය ශ්‍රී ලංකාවට විතරක් නෙවෙයි අසල්වැසි රටවල් වලටත් බලපාන බවත් ඔහු පෙන්වා දුන්නා.

එබෝලා වගේ වසංගත තත්ත්වයන් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීම් කර ඇති බවත්, ඒවාට මුහුණ දීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට සකස් කර ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියා.

ඒ වගේම මැයි සහ ජුනි මාසවල ඩෙංගු ව්‍යාප්තිය වැඩිවිය හැකි නිසා, ඒක පාලනය කරන්න දිවයින පුරා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඉන්න බවත්, ජනතාවගේ අවධානය වැඩි කරගන්න තවත් වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළා.

සෞඛ්‍ය අංශයට රජයේ විශාල වියදමක් වෙන් කරන නිසා මුදල් කළමනාකරණය ඉතා වැදගත් බවත්, සෞඛ්‍ය කළමනාකරණ නිලධාරීන්ට ඒ සඳහා ලොකු වගකීමක් තියෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ රික්ත තනතුරු ගණනාවක් පවතින අතර, ඒවා නිසි ලෙස භාරගත්තොත් ජනතාවට ගුණාත්මක සහ සාධාරණ සේවාවක් ලබාදෙන්න පුළුවන් කියලත් ඔහු කියා සිටියා.

මේ සංගමය සෞඛ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල පරිපාලන කටයුතු ශක්තිමත් කිරීම, වෘත්තීය ගැටලු සාකච්ඡා කිරීම සහ අඛණ්ඩ වෘත්තීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වගේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් බවත් එහිදී සඳහන් වුණා.

Share This