ඉබෝලා අවදානම හමුවේ ශ්‍රී ලංකාවෙන් විශේෂ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග රැසක්
ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මේ වන විට එය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව විශේෂ ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිවේදනයක් මගින් දැනුම් දී තිබෙනවා.
අදාළ නිවේදනයට අනුව ඉබෝලා වෛරසය මේ වන විට කොංගෝ රාජ්‍යය සහ උගන්ඩාව යන රටවල් තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවත් සඳහන් වෙනවා.
මේ තත්ත්වයට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති ප්‍රධාන පියවර කිහිපයක් මෙසේයි:
- ගුවන්තොටුපළ ආශ්‍රිත ආවේක්ෂණ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම
- සැක සහිත රෝගීන් හඳුනාගැනීමේදී ජාතික බෝවන රෝග විද්‍යායතනය සූදානම්ව තැබීම
- රෝග නිශ්චය සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය සූදානම් කර තැබීම
- රට තුළ ආවේක්ෂණ පද්ධතිය ශක්තිමත් කර ගෝලීය තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම
- ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව ශ්‍රී ලංකාව මේ රෝගය සඳහා අඩු අවදානම් රටක් ලෙස වර්ගීකරණය කර ඇති බවයි.
ඒ අනුව ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන අතර, අවශ්‍ය සියලු පූර්ව සූදානම් කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර තිබෙනවා.
