ශ්‍රී ලාංකික නාවිකයන්ට ගෝලීය රැකියා අවස්ථා පුළුල් කිරීමට නව වැඩපිළිවෙළක්

ශ්‍රී ලාංකික නාවිකයන්ට ලෝකේ වැඩි අවස්ථා ලබාදෙන්න තවත් පියවරක් ගෙන තියෙනවා.

වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහ Peter Döhle Schiffahrts-KG සමාගමේ Crew Development අංශ ප්‍රධානී Andreas Niehage මහතා අතර හමුවක් ඊයේ (19) වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

මේ සාකච්ඡාවේදී ශ්‍රී ලාංකික නාවිකයන්ට සහ කැඩෙට් නිලධාරීන්ට ජාත්‍යන්තර රැකියා සහ පුහුණු අවස්ථා වැඩි කිරීම, නාවික ක්ෂේත්‍රයේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම සහ දෙපාර්ශවයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම ගැන අවධානය යොමු වුණා.

Centrum Marine Consultancy Pvt Ltd සහ Peter Döhle Schiffahrts-KG එක්ව 2024 අගෝස්තුවේ ආරම්භ කළ Doehle Marine Lanka Pvt Ltd ආයතනය යටතේ මේ වනවිට ශ්‍රී ලාංකික නාවිකයන් 233 දෙනෙක් නෞකා සේවයේ නිරත වෙනවා. සමස්ත නාවික කණ්ඩායම 507ක් බවත් සඳහන්. ඒ වගේම Deck, Engine සහ Electrical අංශවල කැඩෙට් නිලධාරීන් 76 දෙනෙක් දැනට නෞකා මත පුහුණුව ලබනවා.

කාන්තා සහභාගීත්වයත් වැඩි වෙමින් පවතින අතර, කාන්තා නිලධාරිනියන් සහ කැඩෙට් නිලධාරිනියන් 10 දෙනෙක් මේ වනවිට නෞකා සේවයේ නිරත වෙනවා.

එමෙන්ම 2026 අගෝස්තු වනවිට නෞකා සේවයේ සිටින ශ්‍රී ලාංකික නාවිකයන්ගේ සංඛ්‍යාව 300 දක්වා ඉහළ නැංවීමේ ඉලක්කයක් තිබෙන බවත් අනාවරණය වුණා.

හිටපු නාවික වෘත්තිකයෙකු වන නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාට නාවිකයන් මුහුණදෙන ගැටලු ගැන හොඳ අවබෝධයක් තිබෙන බවත්, ඒවාට ප්‍රායෝගික විසඳුම් සෙවීමට ඔහු දක්වන උනන්දුවත් Andreas Niehage මහතා ඇතුළු පිරිස විශේෂයෙන් අගය කළා.

එමෙන්ම ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ගෝලීය නාවික ක්ෂේත්‍රයේ වැඩි වෘත්තීය අවස්ථා ලබාදීම සහ කාන්තා සහභාගීත්වය තවදුරටත් ඉහළ නැංවීම සඳහා රජයේ සහාය ශක්තිමත් කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

Share This