දේශපාලනය සංවර්ධනයෙන් වෙන් වූ දෙයක් නොවේ. රාජ්‍ය පාලනයේදී අප ගන්නා සෑම තේරීමක් සහ තිරණයක්ම හැඩගස්වනු ලබන්නේ ඒ හරහායි – අගමැති ආචාර්ය හරිනි අමරසූරිය එක්සත් රාජධානියේදී කියයි
දේශපාලනය කියන්නේ සංවර්ධනයෙන් වෙනම දෙයක් නෙවෙයි කියලා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කියනවා. රට පාලනයේදී ගන්න හැම තීරණයක්ම, තේරීමක්ම දේශපාලනයෙන්ම හැඩගැහෙනවා කියලයි ඇය අවධාරණය කරලා තියෙන්නේ.
එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත වෙලා ඉන්න අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කරලා තියෙන්නේ මැයි 19 වෙනිදා University of Sussex හි සංවර්ධන අධ්‍යයන ආයතනයේ 60 වැනි සංවත්සර සමුළුව අමතමින්.
පසුගිය 18 වෙනිදා ශ්‍රී ලංකාවෙන් පිටත් වුණු අග්‍රාමාත්‍යවරිය ඇතුළු දූත පිරිස ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළට රාත්‍රී 8ට පමණ ළඟා වෙලා තිබුණා. එහිදී එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර සහ ශ්‍රී ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් රිචඩ් විල්ඩෑෂ් ඇතුළු පිරිසක් විසින් ඔවුන්ව පිළිගෙන තිබුණා.
ඊට පස්සේ අග්‍රාමාත්‍යවරිය බ්‍රයිටන්හි තියෙන University of Sussex වෙත ගොස් එහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් හමුවුණා.
එහි පැවති දේශනයේදී ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන සහ ආර්ථික අත්දැකීම් ගැනත්, දේශපාලනය, යහපාලනය සහ සංවර්ධනය අතර තියෙන සම්බන්ධය ගැනත් ඇය විස්තර කරලා තිබුණා. රට පාලනය කරන අතරම ආර්ථිකය ගොඩනගාගැනීම, සමාජ ආරක්ෂාව තහවුරු කිරීම සහ ආයතනික ප්‍රතිසංස්කරණ කිරීමේදී ඇති අභියෝග ගැනත් අග්‍රාමාත්‍යවරිය අවධානය යොමු කරලා තිබුණා.
ඒ වගේම කාන්තාවන් වැඩිපුර සම්බන්ධ වෙන රැකවරණ සේවාවන් ගැනත් ඇය විශේෂයෙන් කතා කරලා තිබුණා. රටේ ආර්ථිකයට ඒ සේවාවන් වැදගත් කොටසක් බවත්, එම ක්ෂේත්‍රයේ කාන්තාවන් දෙන දායකත්වය අගය කළ යුතු බවත් ඇය කියලා තිබුණා.
මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරිය University of Oxford හි විශේෂ දේශනයකටත් සහභාගී වෙන්න නියමිතයි. ඒ වගේම එක්සත් රාජධානියේ විදේශ ලේකම් Yvette Cooper, අධ්‍යාපන ලේකම් Bridget Phillipson සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් Shirley Ayorkor Botchwey ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් රැසක් හමුවීමටත් නියමිතයි.
