පාසල් නිල ඇඳුම් රෙදි චීනයෙන් ලබාදෙයි

පාසල් නිල ඇඳුම් රෙදි චීනයෙන් ලබාදෙයි

චීන රජයේ ප්‍රදානයක් ලෙස ලංකාවට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි චීන තානාපති කී ෂෙන්ග් හොං විසින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූූරිය වෙත අද (10) නිල වශයෙන් ලබා දුන්නා.

ඒ කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකදීයි.

2025 වර්ෂය සඳහා මෙරට සෑම පාසලකම දරුවන් සහ පිරිවෙන් වෙනුවෙන් නිල ඇඳුම් රෙදි ලබා දීමට කටයුතු කිරීම පිලිබඳව චීන රජයට කෘතඥතාව පළ කරන බව මෙහෙදී අග්‍රාමාත්‍යවරිය පැවසුවා.

2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවය රෙදි මීටර් මිලියන 11,817 ක් වන අතර පාසල් නිල ඇඳුම් ලබා දීමට නියමිත සිසුන් ගණන 4,640,086 ක්. ඒ අනුව 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් මුළු අවශ්‍යතාවයම ( 100%) ප්‍රදානයක් ලෙස මහජන චීන සමුහාණ්ඩුව විසින් ලබා දීම සිදු වුණා.

නැව්වාර තුනකින් අදාල රෙදි ප්‍රමාණය මෙරටට ලැබෙන අතර පළමු සහ දෙවන නැව්වාර මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර, තුන්වන නැව්වාරය එළැඹෙන දෙසැම්බර් 25 වන දින ලංකාවට පැමිණීමට නියමිතයි.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ,

“අධ්‍යාපනය අපේ රටට අතිශයින්ම වැදගත්, අපේ රජය අධ්‍යාපනයට ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී තිබෙනවා. අධ්‍යාපනය අපට සංවර්ධනය කරා ළඟා විය හැකි මූලික ක්‍රමයක්. ඕනෑම සමාජ-ආර්ථික වෙනසක් හෝ තරාතිරමක් නොතකා සියලුම දරුවන්ට ගෞරවාන්විතව අධ්‍යාපනයට ප්‍රවේශ වීමට හැකි වන පරිදි අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීම සිදු කිරීම අවශ්‍යයි. ඒ සඳහා වන බොහෝ යෝජනා අපි විසින් මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා.

පාසල් දරුවන්ගේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා චීනය දක්වන ත්‍යාගශීලීභාවය අපට ඉතා වැදගත් මොකද නැත්නම් අපි මේකට අරමුදල් හොයන්න ඕන. 2025 සඳහා චීනය අපේ රටේ සෑම පාසලකම සියලුම දරුවන්ට සහ පිරිවෙන් සඳහා නිල ඇඳුම් රෙදි ලබා දීමේ කාර්යය භාරගෙන තිබෙනවා. මෙය චීනයෙන් ලැබෙන වැදගත් පරිත්‍යාගයක් වන අතර ඒ වෙනුවෙන් රජය කෘතඥතාව පළ කරනවා.”

Share This