මැදපෙරදිග යුධ උණුසුම මැද මෙරට අපනයන ආදායම ඉහලට

මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුද වාතාවරණය හමුවේ වුවද, ශ්‍රී ලංකාව පසුගිය මාර්තු මාසය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 1,467ක අපනයන ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේ, පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී අපනයන ආදායම 9%ක වර්ධනයක් සනිටුහන් කර ඇති බවයි.
මෙහිදී වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 1,180ක් සහ සේවා අපනයනයෙන් ඩොලර් මිලියන 286ක් උපයා ගැනීමට හැකි වී තිබේ. විශේෂයෙන්ම පොල් ආශ්‍රිත නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික උපාංග, ආහාර පාන, මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්‍රය මෙලෙස ආදායම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් දායක වී ඇත.
කෙසේ වෙතත්, මැදපෙරදිග යුද්ධයේ බලපෑම හේතුවෙන් එම කලාපයට සිදුකළ අපනයන ආදායම 48%කින් පහත වැටී ඇති අතර, පසුගිය වසරේ මාර්තු මාසය හා සැසඳීමේදී මෙවර සමස්ත අපනයන ආදායම 5.2%ක සුළු අඩුවීමක් පෙන්වයි. නමුත් යුරෝපීය, අප්‍රිකානු සහ ආසියානු රටවල් සඳහා සිදුකළ අපනයනවල කැපී පෙනෙන වර්ධනයක් දැකගත හැකිය.
මේ වසරේ ජනවාරි සිට මාර්තු දක්වා ගතවූ මුල් මාස තුන තුළ ශ්‍රී ලංකාව උපයා ඇති මුළු අපනයන ආදායම ඩොලර් මිලියන 4,308කි. මෙය පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 2%ක සාධනීය වර්ධනයකි. ගෝලීය අර්බුද මධ්‍යයේ වුවද මෙරට අපනයන ක්ෂේත්‍රය පෙන්වන මෙම ස්ථාවරත්වය ආර්ථිකයේ ඉදිරි ගමනට ඉතා සුබවාදී පියවරක් බව අපනයන සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
