ඉන්දීය උප ජනාධිපති රාධක්‍රිෂ්ණන් නිල සංචාරයකට ශ්‍රී ලංකාවට එයි
ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මෙය ඉන්දීය උප ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවට කරන පළමු ද්විපාර්ශ්වික සංචාරය සනිටුහන් කරයි. මෙම සංචාරය අතරතුර, ඔහු ද්විපාර්ශ්වික රැස්වීම් පවත්වන අතර ඉන්දීය රජයේ ආධාර ඇතිව ඉදිකරන ලද ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තුන්වන අදියර යටතේ ඉදිකරන ලද නිවාස ප්‍රජාවේ සාමාජිකයින්ට භාර දෙනු ඇත.
මෙම සංචාරය අතරතුර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. එම සාකච්ඡා දෙරට අතර මෑතකදී ශක්තිමත් වූ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අඛණ්ඩ පියවරක් ලෙස සැලකේ.
ඊට අමතරව, දේශපාලන හා ප්‍රජා නායකයින් සමඟ හමුවීම් කිහිපයකටද සහභාගී වීමට නියමිත අතර, දිට්වා සුළි කුණාටුවෙන් පසු සිදුකරන පුනරුත්ථාපන කටයුතු සහ සංවර්ධන සහයෝගීතාව පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත. එම සන්දර්භය යටතේ දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටද නියමිත බව වාර්තා වේ.
මේ අතර, මෙම සංචාරය හේතුවෙන් අද දිනය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන ඇත. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණෙන උප ජනාධිපතිවරයා, එතැන් සිට ප්‍රභූ රථ පෙළකින් ගාලුමුවදොර පිහිටි ටාජ් සමුද්‍රා හෝටලයට ගමන් කරනු ඇත.
එම කාලය තුළ අදාළ මාර්ගවල රථ වාහන ගමනාගමනයට සීමා පැනවෙන අතර, පසුව එම හෝටලයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමේදීද සමාන ආරක්ෂක හා රථ වාහන පාලන ක්‍රමවේද ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය සඳහන් කරයි.
තවද, අනිද්දා දිනයේදීද උප ජනාධිපතිවරයාගේ ගමන් මාර්ග ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වනු ඇත.
