හෝමූස්හී දී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි කනස්සල්ල
හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉන්දීය ධජය සහිත වෙළෙඳ නෞකා දෙකකට වෙඩි ප්‍රහාර එල්ල වූ බවට වාර්තා වීමත් සමඟ, ඉන්දියාව විසින් ඉරාන රජය වෙත දැඩි විරෝධය සහ කනස්සල්ල ප්‍රකාශ කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබා ගැනීම සඳහා නවදිල්ලියේ සිටින ඉරාන තානාපතිවරයා අද (18) සවස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා තිබේ. එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇත.
නෞකා සහ නාවිකයින්ගේ ආරක්ෂාව ඉන්දියාවට අතිශයින් වැදගත් කරුණක් බව මෙම හමුවේදී අවධාරණය කර තිබේ. තවද, ඉන්දියාව වෙත ගමන් කරන නෞකා සඳහා ඉරානය මීට පෙර ලබා දුන් සහයෝගයද සිහිපත් කර ඇත.
මෙවැනි වෙඩි ප්‍රහාර බරපතළ සහ අසහනකාරී තත්ත්වයක් බව පෙන්වා දුන් ඉන්දීය පාර්ශවය, මෙම සිද්ධිය පිළිබඳව තම රජයේ ස්ථාවරය ඉරාන බලධාරීන්ට වහා දැනුම් දෙන ලෙස තානාපතිවරයාගෙන් ඉල්ලා ඇත.
එසේම, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවට යන නෞකාවල ආරක්ෂිත ගමනාගමනය සඳහා අවශ්‍ය පහසුකම් යළි ඉක්මනින් සක්‍රීය කරන ලෙසද ඉන්දියාව ඉරානයෙන් ඉල්ලා තිබේ.
මෙම කරුණු සියල්ල තම රජයේ අදාළ අංශ වෙත දැනුම් දීමට කටයුතු කරන බවට ඉරාන තානාපතිවරයාද එකඟතාව පළ කර ඇත.
