බලශක්ති ඇමති හා ලේකම් ඉල්ලා අස්වෙයි
අපක්ෂපාතී සහ ස්වාධීන විමර්ශනයකට අවස්ථාව ලබාදීමේ අරමුණින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
ගල්අඟුරු ආනයනය සහ ඒ ආශ්‍රිත විදුලි නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අක්‍රමිකතා සිදුවී ඇත්දැයි පරීක්ෂා කිරීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එම කොමිසම පත් කර තිබෙන අතර, 2009 වසරේ සිට ගල්අඟුරු ආනයනය පිළිබඳවද විමර්ශන සිදු කිරීමට නියමිත බව සඳහන්.
මෙම තත්ත්වය යටතේ විමර්ශන ක්‍රියාවලියට කිසිදු බලපෑමක් නොවීමට සහ එහි ස්වාධීනත්වය තහවුරු කිරීමට ඉඩ සලසමින් තමන් ධුරවලින් ඉවත්වීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා සහ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ.
ඒ අනුව, ඉදිරි විමර්ශන කටයුතු අපක්ෂපාතීව සහ ස්වාධීනව සිදුවේය යන්න තමන්ගේ අපේක්ෂාව බවද ඔවුන් වැඩිදුරටත් පවසා තිබෙනවා.
