මාතලේදී ආයුර්වේද ක්‍රීම් නිෂ්පාදනාගාරයක වැටලීමක්!
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් මාවනැල්ල ප්රදේශයේ ආයතනයක සිදු කළ විමර්ශනයකට අනුව, 2026.04.07 දින එහි සැපයුම්කරුගේ මාතලේ පිහිටි නිෂ්පාදනාගාරයක් හදිසි වැටලීමකට ලක් කරන ලදී. මෙම විශේෂිත ක්රීම් වර්ග සෑදීම සඳහා කිසිදු බලපත්රයක් හෝ අනුමැතියක් අදාළ ආයතනය සතුව නොමැති බව නිලධාරීන් එහිදී අනාවරණය කරගෙන ඇත.අදාළ ආයතනය විසින් වෙනත් නිෂ්පාදකයින්ගෙන් තොග වශයෙන් මෙම නිෂ්පාදන ලබාගෙන, පසුව ඒවා ඔවුන්ගේම සිල්ලර ඇසුරුම්වලට බහා සංචාරකයින් පැමිණෙන ස්ථානවලට බෙදා හැර තිබේ. එම සංචාරක කලාපවල සිටින ව්යාපාරිකයින් විසින් මෙම ආලේපන සංචාරකයින් වෙත ඉතා අධික මිල ගණන් යටතේ අලෙවි කරන බවද මෙම පරීක්ෂාවේදී තවදුරටත් නිරීක්ෂණය වී ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වන අතර, අදාළ භාණ්ඩවලින් සාම්පල ලබාගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමට නියමිතය. එබැවින්, විශේෂයෙන් සංචාරක කලාපවලින් මෙවැනි ආලේපන මිලදී ගැනීමේදී එහි ප්රමිතිය, අනුමැතිය සහ මිල ගණන් පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිමු.
