“පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම” බලන්න ගිය විපක්ෂයේ නායකයන් අතරමග නැගිට යයි

පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා විසින් රචිත “පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම” කෘතිය එළිදැක්වීමේ උත්සවයට සහභාගී වූ විපක්ෂයේ නායකයින් කිහිපදෙනෙකු, එම උත්සවය අතරමඟදී ස්ථානයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

මෙම උත්සවය පැවැත්වුණේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය හිදීය.

වාර්තා අනුව, උත්සවයට සහභාගී වූ විපක්ෂ නායකයින්ට දුරකථන මාර්ගයෙන් ලැබුණු දැඩි දෝෂාරෝපණ හේතුවෙන් ඔවුන් එම තීරණය ගෙන ඇත.

ඒ අනුව, පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුතු පාර්ශ්වයන් පිළිබඳව මැතිවරණ වේදිකාවලදී දැඩිව ප්‍රකාශ කරමින් සිටින අතර, එම පාර්ශ්වය සම්බන්ධ උත්සවයකට සහභාගී වීම “අසාධාරණ හා පහත් ක්‍රියාවක්” ලෙස දුරකථන ඇමතුම් ලබාදුන් පිරිස විසින් චෝදනා කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එම දුරකථන ඇමතුම් ලබාදුන් පිරිස අතර කතෝලික පියතුමන් කිහිපදෙනෙකුද සිටි බව ද වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී තොරතුරු ජනතාවට හෙළිදරව් කිරීමටද එම පාර්ශ්වයන් බලාපොරොත්තු වන බව සඳහන් වේ.

මෙ අතර, මෙම උත්සවයට විපක්ෂ නායකයින් සහභාගී වීම පිළිබඳව නවීන් දිසානායක මහතා දැනටමත් සිය කනස්සල්ල පළ කර ඇත.

Share This