කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව අදත්

දිවයිනට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (04) දිනයේත් ජල සැපයුම සීමා කර ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ පාරිභෝගික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් පෙර සැලසුම් කළ ජල කප්පාදුවේ කාලය පැය 24 සිට පැය 18 දක්වා අඩු කර ඇති බවයි.

එම සැලසුමට අනුව, අප්‍රේල් 10 වනදා දක්වා නියමිත කාලසටහනකට අනුව මෙම ප්‍රදේශවලට වරින්වර ජල සැපයුම සීමා කෙරේ.

පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක් මෙයට අයත් වේ.

පළමු වටය යටතේ, පාදුක්ක ප්‍රදේශයට පෙරේදා රාත්‍රී 8 සිට ඊයේ (03) පස්වරු 2 දක්වා ජල සැපයුම අත්හිටුවා තිබූ අතර, හෝමාගම ප්‍රදේශයට ඊයේ රාත්‍රී 8 සිට අද (04) පස්වරු 2 දක්වා පැය 18ක කාලයක් ජල කප්පාදුව ක්‍රියාත්මක වේ.

අද (04) රාත්‍රී 8 සිට හෙට (05) පස්වරු 2 දක්වා පැලන්වත්ත ප්‍රදේශයට ද ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

මෙම ප්‍රදේශවලට ජල කප්පාදුව දින තුනකට වරක් සිදුකරන බව ද වාර්තා වේ.

එමෙන්ම බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත සහ නාවල ප්‍රදේශවලට දිනක් හැර දිනක් රාත්‍රී 10 සිට අලුයම 1 දක්වා පැය 3ක කාලයක් ජල සැපයුම නවතා දමනු ඇත.

කෙසේ වෙතත්, ජල කප්පාදුව නොමැති දිනවල අඛණ්ඩ ජල සැපයුම ලබාදීමට කටයුතු කරන බවද මණ්ඩලය පවසයි.

Share This