අප්‍රෙල් මාසයේදී තෙල් නැව් 10ක් මෙරටට
ලබන මාසයේ දී ඉන්ධන නෞකා 10ක් මෙරටට පැමිණීමට නියමිත අතර ඉන්දීය තෙල් සමාගමෙන් එවනු ලැබූ ඉන්ධන නෞකාවක් ඊයේ (29) මෙරට පැමිණි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එහි සභාපති ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණා මහතා ප්‍රකාශ කළේ එහි ඩීසල් මෙට්‍රික් ටොන් 18000ක් හා 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18000ක් අඩංගුව ඇති බවයි.
රට තුළ ඉන්ධන සැපයුම සම්පූර්ණයෙන්ම සහතික කර ඇති බවත්, ඒ අනුව ඉදිරියේ දී කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බවත් හෙතෙම රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ 28දා පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් කීවේය.
විදුලි උත්පාදනය සඳහා අත්‍යවශ්‍ය වන දැවි තෙල් සැපයුම දැනටමත් ස්ථාවර කර ඇති බැවින්, ඉදිරියේ දී විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව සභාපතිවරයා වැඩි දුරටත්ව අධාරණය කරයි.
ඒ අනුව අප්‍රේල් 12 සහ 13 දිනවල දී විදුලි උත්පාදනයට අවශ්‍ය දැවි තෙල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතය.
සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ පවතින සංචිත අනුව ඩීසල් සැපයුම ලබන මාසයේ මැද දක්වාත්, 92 සහ 95 පෙට්‍රල් සැපයුම ජුනි මස ආරම්භය දක්වාත් කිසිදු ගැටලුවකින් තොරව පවත්වාගෙන යා හැකි බවයි.
ඉදිරි දිනවල දී මෙරටට පැමිණීමට නියමිත සහ දැනටමත් පැමිණ ඇති ඉන්ධන නෞකා පිළිබඳ විස්තරාත්මක වාර්තාවක්ද සභාපතිවරයා ඉදිරිපත් කළේය.
පසුගිය 27 වැනිදා පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 30,000ක් සහ 95 මෙට්‍රික් ටොන් 5,000ක් රැගත් නෞකාවක් පැමිණ ඇත. මාර්තු 28 සහ 29 දිනවල පැමිණීමට තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 37,000ක නෞකාව කලින්ම පැමිණ දැනටමත් ගොඩබා අවසන් කර ඇත. මීට අමතරව IOC නෞකාවක් හරහා ඩීසල් මෙට්‍රික් ටොන්18,000ක් සහ 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් ලැබීමට නියමිතය.
අප්‍රේල් 2 සහ 4 අතර ඩීසල් මෙට්‍රික් ටොන් 32,000ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 8,000ක් ලැබීමට නියමිතය. අප්‍රේල් 6 සිට 8 දක්වා කාලයේ දී ඩීසල් මෙට්‍රික් ටොන් 69,500ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 5, 000ක් මෙරටට ළඟා වේ.
අප්‍රේල් 10 සහ 11 දිනවල ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000ක්ද, අප්‍රේල් 16 සිට 22 දක්වා කාලය තුළ පෙට්‍රල් සහ ඩීසල් රැගත් තවත් නෞකා කිහිපයක්ද පැමිණීමට නියමිතය.
මෙහි දී සිනොපෙක් සමාගම හරහාද ඩීසල් සහ පෙට්‍රල් තොග ලැබෙනු ඇත. අප්‍රේල් මස අවසාන සතියේ දී (24 – 30) ඩීසල් මෙට්‍රික් ටොන් 37,000ක් සහ පෙට්‍රල් 92 හා 95 තොග රැගත් නෞකා පැමිණීමට නියමිතව තිබේ. විශේෂයෙන්ම මෙම ඉන්ධන නෞකා කිසිවක් යුද ගැටුම් පවතින කලාප හරහා ගමන් නොකරන බැවින්, සැපයුම් දාමයට කිසිදු බාධාවක් එල්ල නොවන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහතික කර ඇත. ඒ අනුව අප්‍රේල් මාසය සඳහා අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන තොග කිසිදු බාධාවකින් තොරව මෙරටට ලැබෙනු ඇති බව ඒ් මහතා වැඩි දුරටත් පවසා සිටී.
