සම පැහැපත් කරන ආලේපනවල අඩංගු රසදිය පරීක්ෂා කරන්න රු.ලක්ෂ 180ක යන්ත්‍ර දෙකක් පාරිභෝගික අධිකාරියට

මෙරට පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත රුපියල් ලක්ෂ 180ක් වටිනා නවීන ජංගම රසදිය විශ්ලේෂක (Mobile Mercury Analyzers) යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කර තිබේ.

එම යන්ත්‍ර සංකේතාත්මකව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත භාරදීම අද(27) වෙළෙඳ අමාත්‍යංශයේදී සිදුකෙරුණේ විෂයභාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න මහත්මිය ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්.

වෙළෙඳපොළේ අලෙවි කරනු ලබන සම පැහැපත් කරන ආලේපන (Whitening Creams) ඇතුළු විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදනවල අඩංගු රසදිය (Mercury) ප්‍රමාණය ඉතා කෙටි කාලයක් තුළ පරීක්ෂා කර බැලීමට මෙම ජංගම රසදිය විශ්ලේෂක යන්ත්‍ර දෙක හරහා හැකියාව ලැබේ.

පාරිභෝගික සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ දක්වා සිදුකර තිබෙන කාර්යභාරය ඇගයීමට ලක් කරමින් තවදුරටත් එම කටයුතු පහසු හා කඩිනම් කිරීම සඳහා මෙම යන්ත්‍ර දෙක එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යටතේ පරිත්‍යාග කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට (SLSI) අනුව රූපලාවන්‍ය නිෂ්පාදනවල අඩංගු විය හැකි උපරිම රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් එකක් වුවද, වෙළෙඳපොළේ ඇති ඇතැම් නිෂ්පාදනවල එම අගය ඉක්මවා පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මීට පෙර සිදු කළ පරීක්ෂාවන්හිදී හෙළි වී තිබේ.

පාරිභෝගික සුරක්ෂිතතාව සඳහා නගරයෙන් නගරයට ගොස් වෙළෙඳසැල් තුළදීම රූපලාවණ්‍ය නිෂ්පාදනවල රසදිය ප්‍රමාණය පරීක්ෂා කිරීමට මෙම ජංගම යන්ත්‍ර යොදා ගැනීමට අපේක්ෂිතයි.

අධික ලෙස රසදිය අඩංගු ව්‍යාජ සහ ප්‍රමිතියෙන් තොර ආලේපන නිසා සිදුවන සෞඛ්‍ය අවදානමෙන් පාරිභෝගිකයා රැක ගැනීම මෙහි ප්‍රධාන අරමුණකි.
තම නිෂ්පාදනවල රසදිය මට්ටම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලදැයි වෙළෙඳුන්ට එසැණින් පෙන්වා දීමට මෙමඟින් හැකියාව ලබෙන අතර ප්‍රමිතිගත නිෂ්පාදන සහිත වෙළෙඳපොළක් එමඟින් තහවුරු වනු ඇත.

සම්පූර්ණ පරීක්‍ෂණයකට ගතවන්නේ විනාඩි 05 – 10 වැනි ඉතා කෙටි කාලයක් වන අතර අතිරේක රසායනික ද්‍රව්‍ය හෝ වායු වර්ග අවශ්‍ය නොවන බැවින් පරීක්ෂණයක් සඳහා වැයවන පිරිවැය ද මෙහි අඩුවීම විශේෂත්වයක්.

සාම්පල කලින් රසායනිකව සැකසීමට අවශ්‍ය නොවන නිසා සාම්පලය සෘජුවම යන්ත්‍රයට ඇතුළත් කර සෘජු විශ්ලේෂණයක් ලබාගත හැකි වන අතර ඉතා කුඩා රසදිය ප්‍රමාණයක් වුවද නිවැරදිව මැනීමට මෙම යන්ත්‍රවලට හැකියාව තිබේ.

මෙම යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට අවශ්‍ය තාක්ෂණික පුහුණුව ලබා දී ඇති අතර ඉදිරියේදී දිවයින පුරා පරීක්ෂණ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Share This