‘King Khan’ගෙ සාර්ථකත්වයේ අයිතිකාරිය – සුරූපී ගෞරි ඛාන් ගැන නොදන්නා තොරතුරු

බොලිවුඩයේ කිංග් ඛාන් ගැන කතා කරනකොට ගෞරි ඛාන් ව අමතක කරන්න බැහැ. ෂාරුක් ඛාන්ගේ සාර්ථකත්වය පිළිබඳව කතා කරන ඕනෑම තැනක සාර්ථකත්වයෙන් විශාල ප්‍රමාණයක අයිතිකාරිය වෙන්න ගෞරි ඛාන් ට පුළුවන්. නමුත් ගෞරි නිකන්ම නිකන් සුපිරි තරුවකගේ බිරිඳක් වෙන්නේ නැතිව තමන්ගෙම කියලා අනන්‍යතාවයක් ගොඩනගා ගන්න තරම් ධෛර්යයවන්ත ස්ත්‍රියක් වුණා.
ෂාරුක් ගෞරි ආදරය හින්දි චිත්‍රපටයක් වගේ. කිසිම දෙයක් නැති වුණු, අනාගතය ගැන විශ්වාසයක් නැති තරුණ කොල්ලෙක් වෙනුවෙන් තමන්ගේ අම්මා තාත්තා ඉස්සරහා පෙනී ඉන්න ඇයට සිද්ධ වෙනවා. මධ්‍යම පාන්තික පවුලක ඉපදුනු ගෞරිගේ පවුල මේ අහිංසක, අනාගතය අවිනිශ්චිත වුණු තරුණයාට එරෙහිවෙද්දී ඇය ඔහුගේ පැත්තෙ හිටගත්තා. ෂාරුක් සිනමාව ජයගන්න පැමිණි මුල් කාලේ තමන්ට ඉන්න ගෙදරක්වත් ස්ථිර ආදායමක්වත් නැතුව තියෙද්දි පවා ගෞරි ඔහු සමග අසීරුතා ඉවසමින් සිය ආදරය සහ ඔහුගේ හැකියාවක පිළිබඳව අසීමිත විශ්වාසයක් තබමින් ඔහු සමගම ජීවත් වුණා.
ශක්තිමත් පවුල් පදනම සහ නිහඬ සේවය
ෂාරුක් කාන් සාර්ථකත්වය කරා යන ගමනෙදි ඔහුට අවශ්‍ය මානසික නිදහස සහ ශක්තිමත් පවුල් පසුබිම ලබා දුන්නේ ගෞරි. මේ ගැන කතා කරමින් ශාරුක් එක වතාවක් එහෙම කියනවා. “මා අද ලබා ඇති සියලු ජයග්‍රහණ පිටිපස්සේ තියෙන්නේ ගෞරීගේ ඉවසීම, ඇය මාව බලා ගත්ත විදිය, අපේ නිවස පාලනය කරපු විදිහ. ඔහු සිනමාවේ බැබලෙද්දී ඇය නිහඬව තිරයෙන් පිටුපස ඉදලා තමන්ගෙ දරුවන් තිදෙනා යහපත් ගතිගුණ ඇති දරුවන් ලෙස ඇතිදැඩි කරමින් දැවැන්ත කැපකිරීමක් කලා.
ඉගෙනීම සහ ස්ව ශක්තියෙන් නැගී සිටීම
ගෞරි කාන් කියන්නේ කිසිම වෙලාවක ශාරුක්ගේ සෙවනැල්ලට යට වෙලා ජීවත්වුණු කෙනෙක් නෙමෙයි. එයා තමන්ගෙ පවුලේ වගකීම ඉටුකරන අතරතුරු අධ්‍යාපනය සහ නිර්මාණශීලීත්වයට මුල්තැන දුන්නා. අද වෙද්දි ඇය ඉන්දියාවේ ප්‍රමුඛතම අභ්‍යන්තර සැලසුම් ශිල්පිනියක් (interior designer) ලෙස තමන්ගෙ නම ජාත්‍යන්තරයට අරගෙන ගිහිල්ලා තියෙනවා. Gauri Khan design හරහා ඇය ලොව ප්රමුඛ පෙළේ ප්රකෝටිපතියන්ගේ සිනමාතරු වලට අයත් නිවාස වෙන්ම ව්‍යාපාරික ස්ථාන නිර්මාණය කරනවා.
ඇයගේ පෞරුෂය තුළින් පෙන්වා දෙන්නේ බිරිඳක් ලෙස සැමියාට ශක්තියක් වන අතරම කාන්තාවකට තමන්ගෙම වෘත්තිය අනන්‍යතාවයක් ගොඩනගා ගත හැකි බවයි.
අභියෝග හමුවේ නොසැලෙන ස්වභාවය
අවුරුදු තිහකට අධික විවාහ ජීවිතයක් තුළ ඔවුන් මුහුණ දුන්නු විවිධ කුණාටු හමුවේ ගෞරී පර්වතයක් මෙන් නොසැලී කටයුතු කළා. විශේෂයෙන් මෑතකදී ඔවුන්ගේ වැඩිමහලු පුතා සම්බන්ධව මුහුන දුන් ගැටළුවේදී ඒ අසීරු කාල පරිච්ඡේදය දරාගනිමින් ඉවසීම සහ ආත්ම ශක්තිය ඇය සතු පෞරුෂයට කදිම සාක්ෂියක්.
