රෝමයට ගිය ශ්‍රීලන්කන් ගුවන් යානය ගැන පළ වන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍යයි

ශ්‍රී ලංකාවේ සිට රෝමය බලා පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල් 1213 ගුවන් යානය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන තොරතුරු අසත්‍ය බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  එම අධිකාරිය සඳහන් කළේ, සියලු කරුණු සත්‍යභාවයෙන් තොර බවය. පහතින් දැක්වෙන්නේ එම මාධ්‍ය නිවේදනයයි.

“විශේෂ මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාවේ සිට රෝමය බලා පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 1213 ගුවන් යානය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති අසත්‍ය තොරතුරු පිළිබඳවයි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය හා එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කරමින් පදනම් විරහිත ප්‍රලාප හා අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති අතර, එම සියලු කරුණු සත්‍ය අවශ්‍යයෙන් තොර අසත්‍ය තොරතුරු බව අවධාරණය කර සිටිමු.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් යුරෝපය සහ ඉන් ඔබ්බට, මැදපෙරදිග හරහා ගමන් කිරීමට සැලසුම් කර තිබූ හා ටිකට්පත් වෙන්කරවා ගෙන සිටි මගීන් හට, සෘජුව රෝමය බලා ගමන් කිරීමට හැකිවන පරිදි සහ යුරෝපය ආදී වශයෙන් රැඳී සිටින සංචාරකයින් හා ශ්‍රී ලාංකික මගීන් නැවත මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 1213 ගුවන් යානය අද දින (මාර්තු 09) රෝමය බලා පිටත් විය.

එමෙන්ම මැදපෙරදිග උද්ගතව ඇති තත්ත්වය හමුවේ මගීන් මුහුණ දී ඇති දුෂ්කරතා අවම කර ගැනීමට, රජයේ පූර්ණ මැදිහත්වීම මත සංවිධානය වූ ගුවන් ගමනක් බව තහවුරු කර සිටිමු. එම ගුවන් ගමන සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවා ඇති පරිදි රජයේ අමාත්‍යවරයකු නැවත මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් සිදු කළ සැලැස්මක් නොවන අතර, එහි සඳහන් අමාත්‍යවරයා දින කිහිපයකට පෙර ලංකාවට පැමිණ ඇත.

එවැනි අසත්‍ය තොරතුරු පදනම් කර ගනිමින් අපහාසාත්මක සහ අගෞරවනීය අන්දමින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන ප්‍රකාශ නිසාවෙන් ශ්‍රී ලංකා රජයත්, සෘජුවම සිවිල් ගුවන් සේවා අධිකාරියත් අපකීර්තියට පත් වනු ඇත. මහජනතාව තුළ සිවිල් ගුවන් සේවා අධිකාරිය සම්බන්ධයෙන් වැරදි ආකල්පයක් ගොඩනැගීමට විවිධ අසත්‍ය තොරතුරු පළ කරමින් මෙවැනි ප්‍රලාප සිදු කරන ප්‍රකාශ තරයේ හෙළා දකින බව අවධාරණය කරන්නෙමු. විශේෂයෙන්ම ආරක්ෂිත සහ සුරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ ගුවන් කර්මාන්තය, ජාතික ආර්ථිකයට නිබඳව සවියක් වෙමින් පවත්වාගෙන යනු ලබන අතර, එවැනි සත්‍යයෙන් තොර ප්‍රකාශ මගින් ගුවන් කර්මාන්තයට ද බාධා ඇති විය හැකිය.

රටේ සංචාරක ව්‍යාපාරයට සිවිල් ගුවන් සේවා මගින් අතිමහත් ශක්තියක් ලබා දෙන බව කවුරුත් දන්නා කරුණකි. ජාත්‍යන්තර ප්‍රමිතීන් පවත්වා ගනිමින්, ශ්‍රී ලංකාව තුළ ගුවන් කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් රජයේ පූර්ණ මැදිහත්වීම හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙවන් අවස්ථාවක, අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශ මගින්, පුද්ගලිකව හා කණ්ඩායම් වශයෙන් රටට අත්කර දෙන අපහාසය තරයේ හෙළා දකිමු.

එමෙන්ම මෙවැනි අසත්‍ය තොරතුරු මත පදනම්ව සිදුකරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ද දන්වා සිටින්නෙමු.”

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

Share This