දකුණු මුහුදෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 2 ඉක්මවයි
දකුණු මුහුදු ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස හමුවූ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ. එම යාත්‍රාවේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 2.8කට ආසන්න බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
යාත්‍රාව දික්ඕවිට වරාය වෙත රැගෙන ඒමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කරන ලද පරීක්ෂාවකදී හෙරොයින් කිලෝග්‍රෑම් 103ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 1කට ආසන්න තොගයක් හමුවූ බව ඒ මහතා සඳහන් කළේය.
අදාළ ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් වැඩිදුරටත් පැවසීය.
