පාර්ලිමේන්තු නිලධාරිනියගේ හිරිහැර සිද්ධිය තහවුරු කරමින් වාර්තාව සභාගත කෙරේ
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරිනියකට එරෙහිව සිදු වූ බව කියන ලිංගික හිංසනය සහ පීඩන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලද කමිටුවේ අවසන් වාර්තාව අද (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.
හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ, අදාළ නිලධාරිනිය විවිධ තාඩන පීඩන, හිරිහැර සහ අසාධාරණකම්වලට ලක් වූ බව තහවුරු වී ඇති බවයි.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද පෙරවරුවේ මෙම වාර්තාව සභාගත කරනු ලැබූ අතර, එහි පිටපතක් මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයේ තැන්පත් කර ඇති බව ද නිවේදනය කළේය.
පසුගිය 19 වැනිදා පැවති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ දී ගන්නා ලද තීරණයකට අනුව මෙම වාර්තාව සභාගත කරන බව ද කතානායකවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
