යුද්ධය නිසා දින 5කදී ඉරාන සිවිල් වැසියන් 1000කට පිරිසක් මියගිහින්

ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට අද (04) දිනට යෙදෙන පස්වන දිනය වන විට, සිවිල් වැසියන් 1,097 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇමරිකානු මානව හිමිකම් ක්‍රියාකාරී මාධ්‍ය ජාලයක් වන HRANA නම් ආයතනය වාර්තා කරයි.

පසුගිය 28 වනදා සිට අද දක්වා කාලය තුළ සිදුවූ මෙම අවාසනාවන්ත මරණ අතරින් 181 දෙනෙකු වයස අවුරුදු 10ට අඩු ළමුන් බව එම ආයතනයේ නිවේදනයක සඳහන් වේ. තවද, මෙම ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ සිවිල් වැසියන් ගණන 5,402 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 100 දෙනෙක් ළමුන් වීම විශේෂත්වයකි.

HRANA ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ, පසුගිය පැය 24 කාලය තුළ පමණක් අවම වශයෙන් ප්‍රහාර 104ක් වාර්තා වී ඇති බවයි. මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ හමුදා කඳවුරු, වෛද්‍ය මධ්‍යස්ථාන සහ නේවාසික ප්‍රදේශ ඉලක්ක කරගනිමින් බවද එම ආයතනය අනාවරණය කරයි.

මෙම වාර්තාගත සංඛ්‍යා හැරුණු විට, තවත් සිය ගණනක් මරණ පිළිබඳ තොරතුරු සමාලෝචනය කරමින් පවතින බවද HRANA ආයතනය ප්‍රකාශ කර ඇත.

Share This