2026 වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද
මෙම වසරේ මෙරටට දිස්වන පළමු චන්ද්‍රග්‍රහණය අද නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරනවා.
කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා තහවුරු කළේ, එය අර්ධ චන්ද්‍රග්‍රහණයක් වනු ඇති බවයි.
මෙය නැගෙනහිර ආසියාව, ඔස්ට්‍රේලියාව, පැසිෆික් සහ ඇමරිකාව වැනි ලෝකයේ බොහෝ ප්‍රදේශවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් වුවද ශ්‍රී ලංකාවට එය අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස විනාඩි 26ක් වැනි කෙටි කාලයක් තුළ දිස්වනු ඇති බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. චාන්ද්‍රග්‍රහණය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් අද (03) දින දිවා කාලයේදී, ප.ව. 2.14 ට චන්ද්‍රයා පෘථිවියේ උපචයාවට (අඩ අඳුරු සෙවනැල්ල) ඇතුළු වීමත් සමගයි.
එවිට චන්ද්‍රයා ක්ෂිතිජයෙන් පහළ පිහිටා ඇති බැවින් ලංකාවට දිස් වන්නේ නැහැ.
චන්ද්‍රයා පස්වරු 6.21 ට නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවීමත් සමඟ මෙම ග්‍රහණය ලංකාවේ අපට දිස්වීමට පටන් ගන්නා අතර ග්‍රහණයේ උපරිම අවස්ථාව 6.27 ට ද, පියවි ඇසට පෙනෙන අර්ධ චන්ද්‍රග්‍රහණයේ අවසානය පස්වරු 6.47 ට ද සිදුවනවා. උපරිම ග්‍රහණ අවස්ථාවේදී සඳ මතුපිටින් 30% ක් පමණ පෘථිවියේ පුර්ණ චායාවෙන් ආවරණය වී ග්‍රහණය දැකිය හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.
චන්ද්‍රග්‍රහණයේ අවසානය අද (03) වනදා රාත්‍රී 7.53 ට පෘථිවියේ උපචයාවෙන් චාන්ද්‍රයා ඉවත් වීමත් සමග සිදු වේ.
